මේ වනවිට විනිමය අනුපාතය ස්ථාවර වී ඇති බවත් ඉදිරියේදී විනිමය අනුපාතය තවදුරටත් ශක්තිමත් වන බවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
පසුගිය දිනවල විනිමය අනුපාතය පිරිහී ඇමරිකානු ඩොලරයක අගය රු. 380 දක්වා ඉහළ ගොස් දැන් එය අනිත් පැත්තට පැමිණ ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය. බැංකු ක්‍රමය හරහා ඉදිරියේදී වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙනු ඇති බව ද ඒ තුළින් විදේශ විනිමය අනුපාතය ස්ථාවර වී එය ශක්තිමත් වනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.
මේ වනවිට විදේශ විනිමය කළු කඩයේ වැඩිපුර ගෙවන අගය අඩු වී ඇති බවත් ඒ තුළින් විදේශ විනමය ප්‍රේෂණ බැංකු ක්‍රමය හරහා එවීමට දිරිමත් වීමක් සිදුවනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.
මේ අනුව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගන්නා පියවරවල ප්‍රගතියක් දක්නට ලැබෙන බව ද මෙරටට විදේශ විනිමය ප්‍රේෂණය කරන විදේශ ශ්‍රමිකයන්ට සහ විදේශ විනිමය උපයන අපනයනකරුවන්ට එම විදේශ මුදල් බැංකු තුළින් එවීමට වගකීමක් තිබෙන බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.
එවිට එම විදේශ විනිමයෙන් මේ රටේ සිටින ජනතාවට අත්‍යවශ්‍ය දේ සැපයීමට හැකි වන බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් කීවේය.
මහ බැංකු මූලස්ථානයේදී ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත