විභාග වෙබ් අඩවියෙන් පමණක් උ.පෙළ විභාග කාලසටහන බාගත කර ගන්න

126

විභාග කොමසාරිස් ජනරාල්

2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා උසස් පෙළ අපේක්ෂකයන්ට දැනුම් දී සිටී.

2024 උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද ඊයේ (30දා) පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා සඳහන් කළේය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳව අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බැවින් එය නිවැරදි කිරීම සඳහා මෙලෙස මාධ්‍ය හමුවක් පැවැත්වූ බව සඳහන් කළ විභාග කොමසාරිස් ජනරාල්වරයා සෑම විටම විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙස ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ප්‍රචාරයන්ට අනුගත නොවන ලෙස ද සිසුන්ගෙන් ඉල්ලා සිටියේය.

සිසුන් කිහිපදෙනකුගෙන් විභාග කල් තබන ලෙසට ඉල්ලීම් ලැබී ඇතත්, උසස් පෙළ විභාගයේ දින තීරණය කළේ සම්පූර්ණ විෂය ආවරණ කාලය පිළිබඳව අවධානය යොමු කර බව පැවසූ ඒ මහතා පසුගිය කාලසීමාව පුරා රට මුහුණ දුන් නොයෙක් අර්බුද හේතුවෙන් විභාග ඉතා අක්‍රමවත් ලෙස පැවැත්වීමට සිදුවූ බව ද පැවසීය.

මෙවර උසස් පෙළ විභාගය වෙනුවෙන් විෂයන් 64ක් යටතේ අයැදුම්කරුවන් 333,185 දෙනකු පෙනී සිටීමට නියමිත බවත්, ඒ අතර පාසල් අයැදුම්කරුවන් 253,390ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 79,795 ක් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

විභාග මධ්‍යස්ථාන 2,317 කදී මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර, උතුරු පළාතේ ඩෙල්ෆ් සහ නයනතිව් දූපත්වලද විභාග මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.
සුජීව තත්සර


advertistmentadvertistment