වෙන්නප්පුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබමින් සිටි සිසුවියකට පහරදී මියයාමේ සිද්ධියට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකාර ගුරුවරියන් දෙදෙනා ඊයේ(18)දින මාරවිල දිසාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 වැනි දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල අතිරේක දිසා මිනිසුරු අසේල ද සිල්වා මහතා නියෝග කළේය.
පහරදීමෙන් මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගියේ රමීෂා දිනිති තමෙල් නැමති 16 හැවිරිදි සිසුවියකි. ඇය වෙන්නප්පුව මාටින්ද ෆොරස් මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබමින් සිටියාය. ඉකුත් අගෝස්තු 09 වැනි දින මියගිය සිසුවිය ඇතුලු සිසුවියන් තිදෙනකු පාසැල ආරම්භ වීමෙන් පසුව පංති කාමරය තුළ නොසිටි බව පවසමින් පංති භාර ගුරුවරිය හා නියෝජ්‍ය විදුහල්පතිවරිය සිද්ධිය විමසා මියගිය සිසුවියට හා අනෙක් සිසුවියන් දෙදෙනාට අතින් පහරදී පාසැලේ මිදුලේ දැඩි අව් රශ්මිය ඇති ස්ථානයක දණ ගස්සවා ඇති අතර එම අවස්ථාවේ ක්ලාන්ත වී ඇද වැටී ඇති බව සිදු කළ පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
පසුව සැකකාර ගුරුවරියන් දෙදෙනා මියගිය සිසුවිය පංති කාමරය තුළට ගෙන ගොස් බංකුවක තබා දෙමාපියන්ට දුරකථන පණිවුඩයක්දී පාසැලට ගෙන්වා ගැනීමෙන් පසු දෙමාපියන් ඇයව මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද පොලිසිය පවසයි. මාරවිල මූලික රෝහලේප්‍රතිකාර ලබමින් සිටි සිසුවියගේ රෝගී තත්ත්වය අසාධ්‍ය වූ බැවින් ඇයව කොළඔ ජාතික රෝහලට මාරුකර යවා එහි දැඩි සත්කාර ඒකකයට යොමුකර ඇත. මාස දෙකක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබා එම රෝහලේ වාට්ටුවකට යොමු කර දින කීපයකට පසු මාරවිල රෝහලට එවීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම මහ රෝහලට මාරුකර යැවීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය පසුගිය 13 වැනි දින අලුයම මිය ගොස් තිබේ. සිද්ධියට අදාළව අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇපමත මුදාහැර සිටි ගුරුවරියන් දෙදෙනා සිසුවිය මියගිය පසු වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබිණි.
අමරනන්ද විජේසේකර — මහවැව