ඊනියා ජනකාන්ත බෞද්ධ පුද විමනට පාර කියන හැඩක් !

ඔළු නැති සමාජය මවිත කරන හාස්කම්

මීට සති කිහිපයකට හෝ මාසයකට හමාරකට ඉහත එක් අඳුරු සහගත දිනයෙක පෙරවරුවේ කුලියාපිටියට ඔබ්බෙන් පිහිටි ගම්බද ප්‍රදේශයක වගුරු බිමක් සමීපයට බස්නාහිර පළාතේ ලියාපදිංචි කොට ඇති බව හැඟවෙන කළු වීදුරු සහිත නවීන වෑන් රථයකින් හත් අටදෙනකු ගෙන් යුත් පිරිසක් පැමිණ තිබේ. මීට කලකට පෙර කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගනු ලදුව පසු කලෙක වල් බිහි වූ ගම් වැවක් සේ හඳුනා ගත හැකි එය ජලජ ශාකවලින් පිරී පැවැති අතර ඒ අතර අතරින් පතර ද කොහිල ද බහුලව වැවී ඇති බවක් දක්නට ඇත.

එසේ පැමිණි පිරිස අතරේ කෝපි කුඩු පැහැති සිවුරක් දරා සිටි මැදිවියේ හිමි නමක් ද සිටි බැවින් එම පිරිස එහි කුමක් හෝ පුණ්‍ය කටයුත්තකට මුල පිරීමකැයි සිතන්නට අසල් වාසී ගැමියන්ට සිදු විය.

ඒ අතර එම හිමිනම ඇතුළු පිරිස පැමිණි කාරිය පිළිබඳව විස්මිත පුවතක් එම ගමේ විහාරාධිපති හිමියන්ට දැන ගන්නට ලැබිණ. එනම් එසේ පැමිණ ඇත්තේ අගනුවර ප්‍රදේශයේ විශ්වවිද්‍යාල ආචාර්ය, වෛද්‍ය, නීතිඥ, ගණකාධිකාරී ඇතුළු විද්වත් පිරිසක් බව ය. එම පිරිස සමඟ පැමිණි හිමිනම ඔවුන් හට භාවනා පන්ති පවත්වන හා ඔවුන්ගේ ගෞරවාදරයට පත් වූ භික්ෂුවක් බවත් එම ගමේ විහාරාධිපති හිමියන්ට දැන ගන්නට ලැබී තිබිණ. එහෙත්, එහි විස්මයට කරුණ එය නොවේ. එම වගුරු බිම බෞද්ධ සාහිත්‍යයේ ඉතා වැදගත් කොට දක්වා ඇති අනෝතත්ත විල වශයෙන් එසේ පැමිණි භික්ෂුවට කිනම් හෝ ගුප්ත ක්‍රමයකින් සන්නිවේදනය වීමෙන් අනතුරුව හෙතෙම තම දායක කාරකාදීන් කිහිප දෙනකු ද සමග එය බැලීමට පැමිණි බවකි.

ලොවම පිළිගත් බෞද්ධ දර්ශනයට පදනම් වන අපගේ ථෙරවාද ත්‍රිපිටක සම්ප්‍රදායන් මුළුමනින් උල්ලංඝනය කෙරෙන බුද්ධෝප්පත්තිය ශ්‍රී ලංකාවේ සිදු වූ බවට දැනට ඉදිරිපත් වී ඇති අතිශය අශාස්ත්‍රීය මතවාදය අනේක විධ යටි අරමුණු තකා කෙසේ හෝ තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විට කණ්ඩායම් කිහිපයක්ම සෑදී පැහැදී සිටිති. ඒ අතරේ අප රටේ එවැනි එක් ස්ථානයක් මුල් කොට ඒ ආශ්‍රිතව බුද්ධ චරිතය හා සම්බන්ධ පුරා විද්‍යාත්මක සාක්ෂි ගවේෂණය කරන මෙන් බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යවරයා විසින් පුරාවිද්‍යා බලධාරීන් ගෙන් ඉල්ලා සිටි පුවතක් පසු ගිය කාලයේ වාර්තා විය. එය හරියට කකුල්වලට ගැලපෙන සපත්තු සෙරෙප්පු සොයනු වෙනුවට සපත්තු සෙරෙප්පුවලට ගැලපෙන කකුල් සොයන මෙන් කළ ඉල්ලීමකට නොදෙවෙනි ඉල්ලීමකි. පුරාවිද්‍යා බලධාරීන් විසින් එය කෙසේ ඉටු කරන ලද්දේ දැයි මම නොදනිමි.

එය පසෙකින් තිබියදී මෙම කොහිල වළ තුළින් හිටිහැටියේ කලියුග අනෝතත්ත විලක් මතු වීමේ කතාව මම පුරාවිද්‍යා ගවේෂණ නිලධාරියකු වන මගේ හිතවත් ටී. එම්. සී. බණ්ඩාර මහතාට දුරකථනයෙන් දැනුම් දුන්නෙමි.

“ඔව් අනේ, එකක් නෙවෙයි මාත් ඔය වගේ කතා දෙක තුනක්ම අහලා තියනවා. මට පේන්නේ දැන් අපේ සමහරකුට හැදිලා තියන ඔළුවේ අමාරුව ඉසකුඩිච්චියක් දාලාවත් ගොඩදාගන්න බැරි වෙයි වගේ. හැබැයි ඉතින් ඔය කතා පට්ටපල් බොරු කියන්න හරි ඔය ගම් පළාත්වල නම් ඔය තැන්වල පින්තූර එහෙම පත්තරවල දැම්මොත් නම් ඉතින් සේරම ඉවරයි. මොකද එතකොට එහෙම කතාවක් හැදෙන්න මොකක් හරි හේතුවක් ඇති කියලා මිනිස්සු ඒ පැත්තට යොමු වෙන්න ඉඩ තියනවා. මතකනේ අර රටම අන්දවපු දොළුකන්දේ රන් කොත් ප්‍රෝඩාව.” බණ්ඩාර මහතා කීය.

සැබැවින්ම දොළුකන්දේ තිබී හමු වූ බව කියන මැටි කොතක් (එය ද විශ්වාස කළ නොහැකි අතර එය කොහෙන් හෝ ගෙනැවිත් දමන ලද්දක් බව මගේ විශ්වාසයයි.) රන් කොතක් ලෙස ජනතාව හමුවේ මවා පෑමක් සිදුකරන ලද්දේ එවක දොළුකන්ද ආරණ්‍ය සේනාසනයට බලහත්කාරයෙන් කඩා වැදී ඊට බරපතල පාරිසරික හානියක් සිදුකිරීම මත පසුව අධිකරණය මගින් පවා දඬුවම් ලද එවක ‘දොළුකන්දේ හාමුදුරුවන්’ නමින් ප්‍රකටව සිටි අනුරාධපුරයේ නන්දවිමල නම් භික්ෂුව විසිනි. අනේක විධ දුක් කරදරවලට ලක් ව අසරණ වූ කතුන් ගේ කනකර පවා පැහැර ගත් ඔහුගේ එම රන් කොත් මගඩිය පිළිබඳ ගවේෂණාත්මක වාර්තාවක් “ඔළු නැති සමාජය මවිත කළ දොළුකන්දේ හාස්කම්” යනුවෙන් 2001 වසරේ ම’විසින් ලියන ලද “ජනකාන්ත මිථ්‍යා මත” කෘතියට ඇතුළත් කොට තිබේ.

ජන් බුද් ධීප ප්‍රෝඩාව සහ අනෝතත්ත අසපුව

එදා මෙදා තුර අද වන විට සමාජගත වී ඇති ජනප්‍රිය බුද්ධාගම නම් ඇදහීම් ජාලය පාදක කොට ගත් මෙම ජාවාරම් දාමයේ අලුත්ම පරිච්ඡේදයක් වන මෙම අනෝතත්ත විලේ ප්‍රෝඩාවේ සුලමුල පිළිබඳව යම් විමසුමක් කිරීම පිණිස මම එම ගමේ විහාරාධිපති හිමියන් වෙතින් උන්වහන්සේට එම තොරතුර ලබා දුන් එම ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ගුරු මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කර ගතිමි. අද රටේ පවත්නා තත්ත්වය අනුව තම අනන්‍යතාව හෙළි කොට මෙම කරුණු අනාවරණය කිරීම බිහිසුණු ප්‍රතිවිපාකවලට මුල් විය හැකි බව ඇය කී බැවින් මම ඇය හෙළි කළ ඒ කලියුග අනෝතත්ත විලේ නිදාන කතාව පමණක් මම ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරමි.

එසේ තම දායකකාරකාදීන් ද සමඟ කුලියාපිටියට ඔබ්බෙන් පිහිටි අනෝතත්ත විලක් මතු කර ගත් භික්ෂුව භාවනා පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් මෑතක සිට නාගරික මධ්‍යම පාන්තිකයන් අතරේ ජනප්‍රියත්වයට පත්වූවෙකි. තරුණ වියේ දී විවිධ වෘත්තීන් හා ව්‍යාපාරවල යෙදී ඇති තමන් පසුව ලෞකිකත්වය අතහැර ආධ්‍යාත්මික පක්ෂයට නැඹුරු වූ බවත් එහි ප්‍රතිඵලය වශයෙන් මීට දස වසරකට පමණ ඉහත පැවිදි බිමට පත් වූ බවත් ඔහු පවසා තිබේ.

පසුව ඔහු අගනුවර සහ තවත් නාගරික ප්‍රදේශ කිහිපයක භාවනා පන්ති පැවැත්වීමෙන් එම මධ්‍යම පාන්තිකයන් අතර මහත් ප්‍රසිද්ධියට පත්ව ඇත.

නාගිත මහ රහතන් වහන්සේ අනෝතත්ත විලේ නෙළුම් කෙමි මත වැඩ සිටි බුදුන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් මහ රහතුන් ඉදිරියේ දී දිව්‍ය, බ්‍රහ්ම, නාගාදීන්ට කඨිනානිසංස ධර්ම දේශනයක් පැවැත්වූ පුවතක් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ය. මෙම භික්ෂුව ද පසුගිය වස් පින්කම් සමයේ තම දායක කාරකාදීන් හමුවේ සිදුකළ ධර්ම දේශනාවලදී එම පුවත රමණීය ලෙස ගෙන හැර දක්වා තිබේ. එමෙන්ම “ජන් බුද් ධීප” හෙවත් බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාව ය යන නරුම මිථ්‍යා මතයේ පසුවන මෙම භික්ෂුව අප රටේ අනෝතත්ත විල පිහිටි ස්ථානය තම දිවැසි නුවණට හසු වූ බව ද සිය අනුගාමිකයන් හට පවසා ඇතැයි මා හමුවේ මෙම තොරතුර අනාවරණය කළ ගුරුවරිය කීවාය. ඒ අනුව කුලියාපිටියේ පිහිටි එම ස්ථානය මූලිකව නිරීක්ෂණය කළ එම කණ්ඩායම දෙවනුව එම වල් බිහි වූ වැව නැවත පිළිසකර කොට එහි “අනෝතත්ත අසපුව” වැනි නව මාදිලියේ ඊනියා ජනකාන්ත බෞද්ධ පුදබිමක් තනා ගැනීමට ඉඩ ඇතැයි කී ඇය ඒ සම්බන්ධයෙන් එම ගමේ විහාරාධිපති හිමියන් ද විශේෂ අවධානයකින් පසුවන බව ද වැඩිදුරටත් කීවා ය.

අනෝතත්ත විල යන වදන නෑසූ හය හතර වැටහෙන දරුවකුවත් අප සමාජයේ හිඳින්නට නොපුළුවන. එමෙන්ම පෙරදිග භාරතීය ආධ්‍යාත්මික සංකල්පවලට අනුව ලොව ඇති අතිශය පවිත්‍රම ජලාශය වනුයේ ද අනෝතත්ත විල ය. ඒ අතුරින් මහ මෙර, ගන්ධමාන පර්වතය සේම අනෝතත්ත විල මුල් කොට බෞද්ධ සාහිත්‍යය වටා ඒකරාශී වී ඇති රමණීය තොරතුරු බොහොමයකි. ඒ සම්බන්ධ මගේ පෞද්ගලික වැටහීම අනුව ඒ සියලු තොරතුරු බෞද්ධ සාහිත්‍යය කෙරෙහි හුදී ජනයා ආකර්ෂණය කරනු පිණිස පසුකාලීනව එක් වූ ප්‍රවාද බව පෙනේ.

පන්සිය පනස් ජාතකයේ එන කුණාල ජාතකයේ හිමාල පර්වතය සමීපයේ ඇති මෙම අනෝතත්ත විල බවට සාධාරණ ලෙස අනුමාන කිරීමට තුඩු දෙන ජලාශයක් පිළිබඳ කරුණු තිබේ. එමෙන්ම පන්සිය පනස් ජාතකයට අයත් සිරි කාලකණ්ණි ජාතක පුවතට අනුව මෙම අනෝතත්ත විලේ බුදුවරුන්, පසේ බුදුවරුන්, රහතුන්, තාපසවරුන්, සදෙව් ලෝ වාසී දෙවිවරුන් සහ දෙවඟනන් සඳහා වෙන් වූ නාන තොටුපළවල් ද තිබේ. ළාබාල වියේදීම රහත් ඵලය ලැබූ සත් හැවිරිදි සුමන සාමනේරයන් වැඩිහිටි භික්ෂුන් ගේ නොතකා හැරීම මත තම රහත් බව පෙන්වීම පිණිස සෘද්ධි බලයෙන් අනෝතත්ත විලට වැඩම කොට බුදුන් හමුවට පැන් රැගෙන ආ පුවතක් ද බෞද්ධ සාහිත්‍යයේ ඛුද්දක නිකායේ ථේර ගාථාවන් හි සඳහන්ය. එමෙන්ම බුද්ධ වංශ අටුවාවේ විස්තර කෙරෙන අන්දමට සිදුහත් උපත සිදුවීමට පෙර මහමායා දේවිය දුටු සිහිනයට ද අනෝතත්ත විල එක් ව තිබීම නිසා එය පොදු ජනතාව අතරේ අතිශය ගෞරවාදරයට ලක් වූ ස්ථානයක් බවට පත්ව තිබේ. එමෙන්ම අනෝතත්ත විල සම්බන්ධයෙන් ආශ්චර්යවත් තොරතුරු ගෙන හැර දක්වන බෞද්ධ අට්ඨ කථා රචකයන් එහි දිග, පළල, ගැඹුර ආදිය සම්බන්ධයෙන් ස්වභාවිකත්වය ඉක්ම වූ තොරතුරු හුවා දක්වා තිබීම ද විශේෂත්වයකි. බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් පරිදි විලෙහි දිග යොදුන් 150 ක් ද, පළල හා ගැඹුර යොදුන් 50 බැගින් ද වේ. අනෝතත්ත විල හිමාලය වන පියසෙහි පිහිටි විල් සතෙන් එකකි. හිමාලය වටකොට ඇති පර්වත පහක් එය රැක සිටින බවක් ද පැවසෙයි. සුදර්ශන කූඨ, චිත්‍ර කූඨ, කාල කූඨ, ගන්ධමාදන හා කෛලාස යනු එම පර්වතයන් බව පැවසෙයි. හිමාල මස්තකයේ මේ කුළු පිස එන පරම පවිත්‍ර වැසි ජලය මේ විලට වැටෙයි. එය මිනිස් ලොවත් දෙව් ලොවත් අතර අන්තරීක්ෂය නම් කොටස ය. එබැවින් මෙහි ජලය සැමදා නොඉඳුල් ව සිහිල්ව පවතී. මෙහි දිය නෑමෙන් සියල්ලන් පාරිශුද්ධත්වයට පත්වන බවට ගුප්ත විශ්වාසයක් පවතී. සිදුහත් කුමරුන් මව් කුස පහළ වීම නිමිති කොට සුරඟනුන් සිව් දෙනකු තමන් අනෝතත්ත විලෙන් නහවන අයුරු මහාමායා දේවිය ද සිහිනයෙන් දුටු බව අටුවා ග්‍රන්ථයන් හි සඳහන් ය. එහිම දැක්වෙන අන්දමට බුද්ධත්වයට පත් සත්වන සතියෙහි බුදුරජාණන් වහන්සේට මුව දෙවීම සඳහා සහම්පති බ්‍රහ්මයා ජලය ගෙනාවේ ද මේ විලෙනි.

නමුත් බෞද්ධ සාහිත්‍යයේ අපර අර්ධයට එක් කොට ඇති මෙම අනෝතත්ත විලට හින්දු වෛදික සාම්ප්‍රදායන් තුළ මූලික තැනක් හිමි කොට දී ඇති බව පෙනෙයි. බෞද්ධ සාහිත්‍ය කෘතීන් හි අනෝතත්ත විල පිළිබඳ කරුණු හින්දු ආභාෂයෙන් යුතු ඒවා බව මගේ වැටහීම ය. වෛදික ආගමික සම්ප්‍රදායනට අයත් ශිව ඉගැන්වීම් අනුව හිමාලය යන ශිව දෙවියන්ගේ ජටාව සංකේතනය කරන්නකි. එහි ඇති විල් පහෙන් ප්‍රධානතම විල වන අනෝතත්ත විල ලොව වඩාත් ශුද්ධ ජලය සහිත ජලාශය ද වේ. එම ජලයේ ඇති ආධ්‍යාත්මික පාරිශූද්ධ බව කොතෙක් ද යත් සියලු දෙවිවරු ද නාගයෝ ද අප්සරාවෝ ද දිව්‍යමය බලයක් සහිත මහා සෘෂීහු ද ජලය ලබා ගැනීමට එහි එති. එමෙන්ම එදා මෙදා තුර භාරතය ආධ්‍යාත්මික වශයෙන් පරිනත දේශයක් බවට පත්ව ඇත්තේ එම අනෝතත්ත විලේ ජලය භාරතයේ පංච මහා ගංගාවන්ට මුසුවීම නිසා ය. එම ජලාශයේ දෙවිවරුන් සේම ප්‍රබල සෘද්ධිමත් රාක්ෂයන් සඳහා වෙන් වූ තොටුපළ ද ඇති බවට විශ්වාසයක් හින්දු ආගමික ධාරාවන් තුළ පවතී. එය මේ වන විට ඉන්දියාව තුළ පවත්නා අයහපත් තත්ත්වයන් සංකේතනය කරන්නක් බව මානව විද්‍යාඥ මතයයි. කාලිදාසයන් විසින් රචිත “කුමාර සම්භව” ආදී කෘතීන්වල පවා සඳහන් අනෝතත්ත විල යන්න සංස්කෘතික බසින් හැඳින්වෙනුයේ අනවතප්ත යනුවෙනි. එහි ව්‍යවහාරික අරුත වනුයේ තැවීමෙන්, දැවීමෙන් තොර යන්න ය. මෙම තැවීම සහ දැවීම යනු කෙලෙස් වශයෙන් හැඳින් වුවහොත් අනෝතත්ත විල යනු නික්ලේශී බවේ සංකේතයක් සේ පිළිගැනීමට අපට සිදුවේ. මුල දී හින්දු ආගමික සම්ප්‍රදායන් තුළ අති උත්තරීතර බවක් හිමි වූ මෙම ජලාශයට පසුව බෞද්ධ, ජෛන හා ටිබෙට් බුද්ධාගමේ එක් අංගයක් වන බොන් ආගම තුළ ද යම් යම් අගැයුම් ලැබී තිබේ.

අනෝතත්ත විල හෝටන් තැන්නේ

මෙම අනෝතත්ත විල හුදෙක් කල්පිතයක් ය යන විශ්වාසයක් අප සමාජයේ පවතී.

කුලියාපිටියේ කොහිල වළකින් හිටිහැටියේ කලියුග අනෝතත්ත විලක් මතු වෙයි

එහෙත් මහමෙර කන්ද සේම එය ද වර්තමානයේ ද දක්නට ලැබෙන ජලාශයක් බව කිව යුතුය. චීනයේ ස්වයං පාලන ටිබෙටයේ චාචේන් නම් කුඩා නගරයෙන් ඔබ්බෙහි මුහුදු මට්ටමින් මීටර් 459 ක් හෙවත් අඩි 15060 උසින් පිහිටි මානසරෝවර් නම් ජලාශය ඉහත සඳහන් සියලු ආගමික ඉගැන්වීම්වලට පදනම් වන අනෝතත්ත විල හෙවත් මානස විල ලෙස ඉන්දුවේදයේ පැවසෙයි. වර්ග කිලෝ මීටර් 320 ක් හෙවත් වර්ග සැතපුම් 123.6 ක වපසරියකින් යුතු මානසරෝවර් ජලායේ ජලය ශීත සෘතුවේ දී මුළුමනින් මිදී පවතිනු දක්නට ලැබේ. එහි උපරිම ගැඹුර මීටර් 90 ක් හෙවත් අඩි තුන්සියයකි. ඉතා සීමිත ජනතාවකගෙන් යුතු දේශගුණික සහ කාලගුණික අතවරවලින් පිරීගත් එම අඩවියේ චියූ නම් ටිබෙට් ආශ්‍රමයක් දක්නට ද ලැබේ. මිහිමත වැඩිම උසකින් පිහිටි ආගමික ස්ථාන අතරට ගැනෙන එම චියූ ආශ්‍රමය සේම එම පාරිසරික පද්ධතියේ පිහිටි මහමෙර, කයිලාස කූඨය ආදිය මුල් කොට සැලකිය යුතු සංචාරක ආකර්ෂණයක් ද මේ වන විට හිමි වෙමින් තිබේ. එනිසාම ඉන්දීය රජය මගින් මේ වන විට එය සම්බන්ධ කොට මාර්ග පද්ධතිය ද දියුණු කොට ඇත. අනෝතත්ත විල හා සම්බන්ධ මෙම භෞතික හා පාරිසරික පසුබිම වටහා ගත් අප රටේ “ජන් බුද් ධීප” ලබ්ධිකයගෙන් කොටසක් එය හෝර්ටන් තැන්නේ ඇති බව අනුමාන කරති.

පසුගියදා ඉන්දියාවේ පැවැත් වූ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය සහ ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 2023 ගෝලීය බෞද්ධ සමුළුවේ සමාරම්භක දේශනය කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරසිම්හ මෝදි බුදුන්ගේ උත්තරීතර දහම ලොවට දායාද කළ ඉන්දියාව සතු බෞද්ධ උරුමයන් ආරක්ෂා කර ගැනීම උදෙසා සෘජුවම පෙනී සිටින බව පැවසීය. ඒ සඳහා නියෝජිතයින් 700 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර ඉන් 175 ක් පමණ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 31 ක් නියෝජනය කරමින් විදේශයන්ගෙන් පැමිණ සිටියහ. නමුත් එහි සැබෑ අරුත අප රටේ බොහෝ දෙනකු ගේ අවධානයට ලක් වූයේ නැත. “හින්දු ආගම භාරතීය ශිෂ්ටාචාරයේ ගේ හෘද මාංශය නම් බුදු දහම එහි මොළයයි” යනුවෙන් ඉන්දුවේදය සම්බන්ධ ලෝ පතල විද්වතකු පවසා ඇති සත්‍යය හමුවේ ඉන්දියානු දේශයෙන් එම “මොළය” ගලවා කිරීමට වඳුරන්ගේ පවා මොළ කෑමෙන් බුද්ධිය වැඩෙන බවට විශ්වාස කරන චීන ජාතිකයන් උත්සාහ කරන්නේ ද යන්න හරි හැටි කිව නොහැක. එමෙන්ම ඓතිහාසික පුරාවිද්‍යාත්මක මානව විද්‍යාත්මක ආදී සියලු ආකාරවලින් ඉන්දියාව සහ බුදුන්ගේ අයිතිය ශ්‍රී ලාංකික අපට උදුරා දීමට වෙර දැරීම යට දැවැන්ත ජාත්‍යන්තර බුද්ධි ක්‍රියාන්විතයක් නොමැති බවට සහතික වීමට අපට නොපුළුවන. ඒ අනුව මෙම ක්‍රියාන්විතය වෙනුවෙන් අති විශාල අත යට විදේශ මුදල් සම්භාරයක් ලබන දේශීය ඒජන්තවරුන් ද හිඳීමේ බැරිකමක් නැත. අප ජන සමාජයේ සංතීක්ෂණ අවධානයට යොමු වියයුතු කරුණු අතුරින් මේවා ද මුල් තැනට පත් විය යුතුම ය.

“අනෝතත්ත විල කියන්නේ තාපයෙන්, දැවීමෙන් තොර අතිශය සිසිල් සෞම්‍ය පරිසරයක තියෙන්න ඕනේ විලක් කියන එක තමයි හැම අතින්ම තහවුරු වෙන්නේ. ඉතින් ඒ වගේ පරිසර පද්ධතියක කොහිල වගේ ශාකයක් හැදෙන්න ඉඩක් නෑ නේද?” පසුව කුලියාපිටියේ අනෝතත්ත විලේ තොරතුරු මා හමුවේ පවසා සිටි ගුරුවරියට මම කීවෙමි.

“මම අර පණිවිඩය අර කට්ටියට යැව්වා. එතකොට ඒ අය කියලා එවලා තියනවා අනෝතත්ත විල දැවීම වළක්වන විලක් හින්දම තමයි ඒකේ කොහිල හැදෙන්නෙ කියලා ඒ හාමුදුරුවෝ කියනවලු” කී ඇය ඒ සමඟම කීයේ “මූලග්ගින්න කියන ලෙඩේට කොහිල කන්න කියන්නෙත් ඔය දැවීම වළක්වන හින්දා තමයි කියලත් ඒ හාමුදුරුවෝ කියලානේ; ඉතින් ඒ කට්ටියත් ඒක පිළි අරන්” යනුවෙනි. ඒ අනුව ඉන් ඉදිරියට තවදුරටත් ඔවුන්ගේ කතා බස් කීමෙන් පලක් නැතැයි සිතන මම ඉහත සඳහන් අවනඩුව බුද්ධිමත් ඔබ හමුවට මෙසේ ඉදිරිපත් කරමි.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment