ලබන වසරේ මැතිවරණවලට…

1716

එජාපයට නායකත්ව මණ්ඩලයක්

ලබන වසරේ මැතිවරණවලට…

එක්සත් ජාතික පක්‍ෂය හෙට (ජනවාරි 01 දා) සිට නායකත්ව මණ්ඩලයක් පත්කර දේශපාලන කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ඉදිරියේ පැවැත්වෙන ජාතික මැතිවරණ ඉලක්ක කර ගනිමින් බිම් මට්ටමින් පක්‍ෂයේ ප්‍රචාරක යාන්ත්‍රණය දියත් කිරීම මෙම නායකත්ව මණ්ඩලයේ අරමුණ වී ඇත. එම නායකත්ව මණ්ඩලය සඳහා රුවන් විජයවර්ධන, රවී කරුණානායක, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු යන මහත්වරුන් පත්කර තිබේ.

චමින්ද සිල්වා

සජබයෙන් සන්ධානයක්

ලබන වසරේ මැතිවරණවලට…

ලබන වසරේ (2024) පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි වන පරිදි නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම ලබන මස (ජනවාරි) සිදු කරනු බව සමගි ජනබලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය.

ඒ සඳහා දේශපාලන පක්‍ෂ රැසක් සමග මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති බවද ඒ සඳහා අවබෝධතා ගිවිසුමක් ද සකස් කර ඇති බවද හෙතෙම සඳහන් කළේය. සමගි ජන සන්ධානය නමින් පිහිටුවන එම සන්ධානය සැකසීමේ මූලික කටයුතු සිදුකිරීම මේ වනවිටත් අවසන් කර ඇති බවද එහි ඉදිරි කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ බලය පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පවරා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

පොහොට්ටුව ගමට බහී

ලබන වසරේ මැතිවරණවලට…

හිරු සඳු මෙන්ම සත්‍යය ද වසන් කළ නොහැක යන තේමාව යටතේ ජනවාරි මාසයේ සිට ජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග අදහස් දක්වමින් පැවසීය.

අසත්‍ය ප්‍රකාශ කර ජනතාව නොමග යැවීමට විවිධ දේශපාලන බලවේගයන් කටයුතු කළත් බහුතර ජනතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සිටින බව ප්‍රකාශ කළ ලේකම්වරයා සෙසු ජනතාව දැනුවත් කිරීම සඳහා 2024 වසරේ මුල් මාස 3 තුළ දී සෑම ග්‍රාමසේවා වසමක්ම ආවරණය වන පරිදි එම වැඩපිළිවෙළ දියත් කරන බවත් කීය.

2024 වර්ෂය මැතිවරණය වර්ෂයක් ලෙස ද සඳහන් කළ මහලේකම් සාගර කාරියවසම් මහතා මෙම වසර තුළදී කුමන මැතිවරණයක් පැවැත් වුවත් එම මැතිවරණය ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත්, ඒ සඳහා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් කොට ඇති බවත් පැවසීය.

එරික් ගාමිණි ජිනප්‍රිය

මාලිමාව කොට්ඨාස මට්ටමින්

ලබන වසරේ මැතිවරණවලට…

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයන් ඉලක්ක කර ගනිමින් ජාතික ජන බලවේගය ලබන ජනවාරි සිට කොට්ඨාස සභා තව තවත් ශක්තිමත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව සෑම කොට්ඨාස සභාවක් වෙතින් ජනතා අදහස් ලබා ගැනීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මීට අමතරව ගිය වසරේ රට පුරා පැවැත්වූ ජාතික ජන බලවේගය දිස්ත්‍රික් සමුළුවලට අමතරව කාන්තා සමුළු දිස්ත්‍රික්ක පුරා පැවැත්වීමට ද තීරණය කර තිබේ.

‘ගැහැනු අපි එක මිටට මාලිමාවට’ ලෙස මෙම සමුළු නම්කර ඇති බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කළාය.

සිරිමන්ත රත්නසේකර

ශ්‍රීලනිපය බුලත් කොළයට

ලබන වසරේ මැතිවරණවලට…

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපති හෝ මහ මැතිවරණය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවධානය යොමු කර ඇත.

ඒ පිළිබඳව පක්‍ෂයේ සංවිධායකවරුන් බහුතරයක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බව ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කර සිටී. මේ වනවිට එජනිසයේ මහලේකම් ධුරය පුරප්පාඩු වී ඇති අතර ඒ සඳහා සුදුස්සකු පත්කර ගැනීමට එම සන්ධානයට අයත් පක්‍ෂ නායකයන් කටයුතු කරමින් සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රීලනිපයෙන් හා එජනිසයෙන් ඉවත්ව වෙනත් පක්‍ෂ වෙත ගිය ක්‍රියාකාරීන්ට ද එජනිසයෙන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමට ඉඩ ලබාදීමට ද තීරණය වී ඇත. ඒ අනුව ලබන ජනවාරි 08 දා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විධායක සභා රැස්වීම පැවැත්වීමටත් එහිදී මේ සම්බන්ධයෙන් විශේෂ තීන්දුවලට එළැඹීමටත් නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment