වැස්සෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක රැසක උ.පෙළ විභාගයට තාමත් සූදානමක් නෑ – ලංකා ගුරු සංගමයෙන් චෝදනා

28

අධික වර්ෂාව හේතුවෙන් ගැටලු පැන නැගී ඇති දිස්ත්‍රික්ක රැසක හෙටට (4දා) නියමිත උසස් පෙළ විභාගය පැවැත්වීමට ඊයේ (2දා) දහවල් වන තුරුත් පියවර ගෙන නැතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු විභාග දෙපාර්තමේන්තුවට චෝදනා කරයි.

ශාලාධිපතිවරුන් ඇතුළු නිලධාරීන් විභාග මධ්‍යස්ථාන වෙත ගොස් ඊයේ වන විට අවශ්‍ය කටයුතු කළ යුතුව ඇතත් එය ද ඉටු වී නැති අතර ප්‍රශ්න පත්‍ර රැගෙන යෑම පවා සිදු වී නොමැති බව හෙතෙම පවසයි. අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම ආදී දිස්ත්‍රික්කවල ජල ගැලීම්වලින් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යෑමේ තර්ජනය නිසා ද දරුවන්ට විභාගයට පෙනී සිටීමේ ගැටලුවක් ඇති වී තිබෙන බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.

විභාග කටයුතු අඩාළ වීමේ තත්ත්වයක් ඇති වී තිබෙන බැවින් ඊට පෙර අවශ්‍ය විකල්ප ක්‍රියාමාර්ග සහ සහන සැලසීමට අධ්‍යාපන අමාත්‍යවරයා වහා මැදිහත් විය යුතු බවද ලංකා ගුරු සංගමය සඳහන් කරයි. අඩුම තරමේ මේ වන විට ශාලා සකස් කිරීම් පවා සිදු කර නොමැති පසුබිමක අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ කෙසේ දැයි සැක සහිත බවද ප්‍රියන්ත ප්‍රනාන්දු කීය.

විභාග දෙපාර්තමේන්තුව සාකච්ඡා කිරීම පමණක් සිදුකර ඇති අතර ඊයේ වන තෙක් පැහැදිලි විකල්පයක් නොගැනීම මත දරුවකුට විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි වගකීම ගන්නේ කවුදැයි ප්‍රියන්ත ප්‍රනාන්දු ප්‍රශ්න කරයි.

නොච්චියාගම- එම්.එම්.පී.ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment