කෝටි ගණනකට පොලු තැබූ දකුණේ පිරමීඩ නියෝජිතයකුගේ බිරිඳගේ බීඑම්ඩබ්ලිව් එක ගිනිබත්

6438

තංගල්ල රන්න නැගෙනහිර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් පසුගිය 21දා රාත්‍රි කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි මෝටර් රථයේ හිමිකාරියගේ සැමියා විසින් හුංගම පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙලෙස ගිනි තබා විනාශ කර ඇත්තේ රන්න නැගෙනහිර පදිංචිකරුවකු වන 39 හැවිරිදි ජී. කේ. ප්‍රදීප් සංජීව නමැත්තාගේ බිරිඳට අයත් බව කියන බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයකි.

වාහනයේ හිමිකාරියගේ සැමියා ඔන්මැක්ස් ඩීටී නමැති පිරමිඩ ව්‍යාපාරයේ දකුණේ ප්‍රබල නියෝජිතයකු ලෙස කටයුතු කර ඇති අයකු බවත්, මෙම පුද්ගලයා ඔන්මැක්ස් ව්‍යාපාරයට නායකත්වය දෙමින් දකුණේ විශාල පිරිසකගෙන් කෝටි ගණනක් මුදල් මෙම ව්‍යාපාරයට යොදවා යළි එම මුදල් ලබා නොදී මගහරින බවට චෝදනා එල්ල වී ඇති අතර ඔන්මැක්ස් ඩීටී ව්‍යාපාරය අතරමග නැවතීමත් සමග ඒ සඳහා මුදල් යෙදවූ පුද්ගලයන් යළි මුදල් ඉල්ලීම නිසා සිය බිරිඳගේ නමට ගත් මෝටර් රථය විකුණා අදාළ මුදල් ලබාදීමට සූදානම්ව සිටියදී මෙම සිද්ධිය වී ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. වීරෝදාර මාවත, රන්න නැගෙනහිර පිහිටි නිවස ඉදිරිපිට නවතා තිබියදී මෝටර් රථය මෙලෙස ගිනි තබා විනාශ කර ඇත. සිද්ධිය පිළිබඳව වාහනේ හිමිකාරියගේ සැමියා මෙලෙස පැවසීය.

“අපි කොළඹ ඉඳන් ගෙදර ආවේ වාහනය විකුණන්න බිස්නස් එක කතාකරගෙන ඇඩ්වාන්ස් එකකුත් අරගෙන ආපහු යන්නයි. මේ වාහනය මගේ බිරිඳගේ නමටයි තිබුණේ. වාහනය විකුණන්න අවශ්‍ය ලියකියවිලි ගෙනියන්නයි ආවේ. කොළඹ ඉඳන් ගෙදරට ඇවිත් නවත්තනකොට වෙලාව රාත්‍රි 9.45ට විතර ඇති. වාහනය ගේ ඉස්සරහා නවත්තලා කෑම ටිකක් කාලා ලියකියවිලිත් අරන් යළි කොළඹ යන්න කියලා එළියට බහිනකොට තමයි මේක වුණේ. මම එළියට එනකොට හතර දෙනෙක් විතර වාහනය ළඟ ඉඳගෙන වෙඩි තිබ්බා. මම ඉක්මනට පිටුපස පැත්තට ගියා. වෙඩි කීපයක්ම තියනවා මට ඇහුණා. කොහොම හරි රාත්‍රි 10.20 විතර වගේ වෙනකොට නිවස ඉදිරිපිටට ආව අය වාහනේටත් ගිනි තියලා යන්න ගියා”

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි හුංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත සම්පත් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන පැවැත්වෙයි.
මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment