ඇල්ල – වැල්ලවාය පාරේදී බස් රියක් ප්‍රපාතයට පෙරළී රියැදුරු මරුට – 7 කට තුවාල

759

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල කේකිත්තාකන්ද ප්‍රදේශයේ දී බස් රථයක් අඩි 25 ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් බස් රථ රියදුරු මරුමුවට පත්වී තවත් හත්දෙනකු තුවාල ලබා වැල්ලවාය දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුර ඊයේ (18 දා) උදේ 7.40 ට පමණ සිදුවී තිබේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ වැල්ලවාය පදිංචිව සිටි බස්නායකගේ පියසේන බස්නායක නමැති 73 හැවිරිදි අයෙකි. ඔහු බස් රථයේ හිමිකරුගේ පියා බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.

උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ සේවය කරන පිරිසක් රාත්‍රී වැඩමුරය හමාර කිරීමෙන් පසු නවාතැන්පළට රැගෙන යමින් සිටියදී බස් රථය මෙම අනතුරට මුහුණපා තිබේ.

මියගිය රියැදුරු වසර ගණනාවක සිට මෙම මාර්ගයේ බස් රථ පදවා ඇති අයකු බවත් බෑවුම් ප්‍රදේශයේ දී ඔහුට බස් රථය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැකකරන බවත් පොලිසිය කියයි. අනතුර සිදුවීමත් සමග බස් රථයේ සිරවී සිටි පිරිස මහත් පරිශ්‍රමයක් දරා ගොඩට ගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.

අනතුරින් බස් රථයට ද දැඩි හානි සිදුවී තිබේ.

වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ටී. එම්. කරුණාතිලක මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චන්ද්‍රකුමාර මහතාගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්‍ෂක විජේරත්න, පොලිස් සැරයන් ජානක (35715), පොලිස් කොස්තාපල් රත්නායක (79616) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරික්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර, හපුතලේ – බුවනෙක සහ බණ්ඩාරවෙල – කරුණාරත්න පල්ලේගම

advertistmentadvertistment
advertistmentadvertistment