මාතරින් ගාල්ලට මාරු කළ බන්ධනාගාර නිලධාරියා පාතාලයෙන් පහරකා රෝහලේ

493

මාතර බන්ධනාගාරයේ වැඩිම වැටලීම් සිදුකළ කීර්තිමත් බන්ධනාගාර නිලධාරියෙකු ගාල්ල බන්ධනාගාරයට ස්ථාන මාරුවක් ලබා දින 2 ක් තුළදී ආයුධ සන්නද්ධ පාතාල කල්ලි කණ්ඩායමකගේ පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇත.

මෙම නිලධාරියා මාතර බන්ධනාගාරයේ වසර හයකට වැඩි කාලයක් සේවය කර වර්ෂ අවසාන ස්ථාන මාරු මත අගෝස්තු 03 වැනිදා ගාල්ල බන්ධනාගාරය වෙත මාරුවීම ලබා ඇත.

මෙම නිලධාරියා ගාල්ල බන්ධනාගාරයේ සේවයට වාර්තා කර 5 දා මාතර නිවස කරා බස් රථයකින් ගමන්කරමින් සිටියදී පස්වරු 5.45 ට පමණ වැලිගම බස් නැවතුම් පළේදී බස් රථය නවතා පාතාල කල්ලි සාමාජිකයන් විසින් මෙම නිලධාරියාට පහරදී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

පහරදීම සඳහා 10 දෙනෙකුගෙන් පමණ සමන්විත පාතාල සාමාජිකයන් එක්ව ඇති බවත් ඔවුන් ටී 56 ගිනි අවියක් සහ තවත් ආයුධ සන්නද්ධව මුහුණු ආවරණය කරගෙන පැමිණ පහරදීම සිදුකර ඇතැයි ද ඒකනායක මහතා කීය.

මෙම ප්‍රහාරයෙන් 43 හැවිරිදි නිලධාරියාගේ අත්පාවලට හා හිසට බරපතළ තුවාල සිදුවී ඇති හෙයින් එම බස් රථයෙන්ම ඔහු රෝහල් ගතකර ඇත.

පහරකෑමට ලක්වූ නිලධාරියා ආයතනය තුළ තහනම් ද්‍රව්‍ය හා ජංගම දුරකථන වැටලීම් රාශියක් සිදුකර අවංක හා නිර්භීත නිලධාරියකු බව මාතර බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා පවසයි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන අතර බන්ධනාගාරය මගින්ද මූලික විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ඒකනායක මහතා කීය.

චමින්ද සිල්වා, නෝමන් පළිහවඩන සහ සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment