වෙබ් අඩවි මාධ්‍යවේදියා උසාවියට අපහාස කරලා

184

– දඬුවම් නියම කළ යුතු බව අභියාචනාධිකරණය තීරණය කරයි

අභියාචනාධිකරණ විනිසුරුවරුන් කීපදෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ චෝදනා යටතේ විමර්ශන ආරම්භ කර ඇති බවට අසත්‍ය ප්‍රවෘත්තියක් වෙබ් අඩවියක පළ කිරීමෙන් වෙබ් අඩවි මාධ්‍යවේදියකු වන චතුරංග ද අල්විස් නමැත්තා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට අභියාචනාධිකරණය ඊයේ (23දා) නිගමනය කළේය.

අධිකරණයේ නියෝගය පරිදි නීතිපතිවරයා විසින් එකී මාධ්‍යවේදියාවට එරෙහිව ගොනු කරන ලද චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට ඒකමතිකව නිගමනය කළ සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර හා මායාදුන්නේ කොරයා යන විනිසුරු මඬුල්ල එම තීන්දුව නිකුත් කළේය.

වගඋත්තරකාර මාධ්‍යවේදියාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නියම කළ යුතු බවට ද විනිසුරු මඬුල්ල නිගමනය කළේය.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විමර්ශන පැවැත්වෙමින් තිබියදී ඔහු රටින් පලාගොස් තිබීම නිසා ඔහු නොමැතිව විභාගය පවත්වා ඇත.

2020.04.30 වැනිදා ලංකා නිව්ස් වෙබ් අඩවිය ඔස්සේ ඔහු එය පළකර තිබූ අතර ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 3 අනුව්‍යවස්ථාව යටතේ නීතිපතිවරයා එකී චෝදනා ගොනු කර තිබිණි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චායා ශ්‍රී නම්මුණි මහත්මිය හා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment