කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිර බහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි දීමනාව කපා හැරීමට වරාය අධිකාරියේ පරිපාලනය කටයුතු කිරීම නිසා එහි සේවකයෝ පෙරේදා (10දා) පැය 4කට ආසන්න කාලයක් වැඩ වර්ජනයක නිරත වූහ.
එම පර්යන්තවල සේවකයෝ පෙරේදා රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වර්ජනයේ නිරතවූ බවත් ඒ හේතුවෙන් අවම වශයෙන් වරාය අධිකාරියට රුපියල් කෝටි 30ක පමණ අලාභයක් සිදුවන්නට ඇති බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. වරාය අධිකාරි පරිපාලනය එම සේවකයන්ගේ නිවාඩු දින අතිකාල දීමනාව පැවති ක්‍රමයටම ලබාදෙන බවට නැවතත් ලිපියක් නිකුත් කිරීමෙන් පසු පෙරේදා අලුයම 12.30 ට පමණ සේවකයන් වැඩ වර්ජනය අතහැර දැමූ බව ද එම නිලධාරියා කීය.
සේවකයන් මෙම වැඩවර්ජනය ආරම්භ කරන විට එම පර්යන්ත දෙකේ භාණ්ඩ නෞකා 6ක් නැංගුරන් ලා තිබූ බවත් වර්ජනය හේතුවෙන් එම නෞකා හයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටි බවත් එම නිලධාරියා කීය.
වරාය අධිකාරියේ උසස් නිලධාරියකුගේ තීරණයකට අනුව අදාළ පර්යන්ත දෙකේ අත්‍යවශ්‍ය සේවකයන්ට වසර ගණනාවක සිට නිවාඩු දින සඳහා ගෙවූ අතිකාල දීමනාව කප්පාදු කර තිබූ බව කී අදාළ උසස් නිලධාරියා එම දීමනාව පෝය දින යෙදෙන 12 වැනිදා උපරිමය රුපියල් 10,000 ක සහ පෝය දිනට පසුදින එනම් 13 වැනිදා උපරිමය රුපියල් 5000 ක අතිකාල දීමනාවක් පමණක් ගෙවන බවට වරාය අධිකාරියේ පරිපාලනය ලිපියක් දැනුම් දී තිබූ බවද සඳහන් කළේය.
වරාය අධිකාරියේ පරිපාලනයේ සිටින උසස් නිලධාරියකු අත්තනෝමතිකව මෙම තීරණ ගෙන ඇති බවත් සේවකයන්ට ලැබෙන වැටුප පිළිබඳව අදාළ නිලධාරියා මීට පෙර ද මාධ්‍ය හරහා චෝදනා කර තිබූ බවත් වරාය අධිකාරියේම උසස් නිලධාරියා සඳහන් කළේය. ජයබහලු සහ නැගෙනහිර යන බහලුම් පර්යන්තවල සේවකයන්ගේ දිරිදීමනාව කපා හැරීමේ තීරණය ඇතුළු වරාය අධිකාරියේ කළමනාකාරිත්වය ගත් තීරණයක් අනුව සිදුවූවක් බව දැන ගන්නට තිබෙන බවද එම නිලධාරියා කීය.
මේ සම්බන්ධයෙන් වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික අද්මිරාල් එස්. එස්. රණසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මූල්‍ය පාඩුව ගණනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවත් සේවකයින්ගේ දිරිදීමනා කපාහැරීම තීරණය වරාය අධිකාරියේ පාලනාධිකාරිය විසින් ගත් තීරණයක් බවත්ය.
චමින්ද සිල්වා