බුදුන් වහන්සේගේ දේශනාව තුළ ලෝක සාමය උදෙසා මහැඟි පණිවිඩයක් ගෙන දෙන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ වෙසක් පණිවුඩයේ සඳහන් වේ. එය මෙසේය.
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍යය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා සුවිශේෂී දිනයකි. සියලු බුද්ධ කාරක ධර්මයන් සපුරා, මාර සේනාව පරාජය කොට, මධ්‍යම ප්‍රතිපදාවෙන් ඥානය දියුණු කර, චතුරාර්ය සත්‍යය අවබෝධ කොට, සියලු කෙළෙසුන් නසා සම්‍යක් සම්බුද්ධත්වයට පත්වූයේ මෙවන් අසිරිමත් වෙසක් දිනයකදීය. උන්වහන්සේ සියලු දුක් ඉවසා, සසරින් සසරට ජීවිත ගණනාවකදී පෙරුම් පුරා පරාර්ථචර්යාවෙන් අවබෝධ කරගත් ධර්මය සියලු ලෝකවාසීන්ගේ ආධ්‍යාත්මික හිතසුව පිණිසම හේතු සාධක විය.
බුදුන් වහන්සේගේ මුඛ්‍ය දේශනාව වූයේ ආගමික පසුබිමක හිඳ මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීමයි. එසේම පාලකයකු විසින් යහපත් පාලන තන්ත්‍රයක් ගොඩනඟාගත යුතු ආකාරය පිළිබඳව ද බෞද්ධ දර්ශනයේ සඳහන් වෙයි.
‘සබ්බං රට්ඨං සුඛං සේති – රාජා චේ හොති ධම්මිකෝ’ යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කොට ඇත්තේ රටක පළමු පුරවැසියා වන පාලකයා දැහැමි වුවහොත් සියලු ජනයා සුවසේ ජීවත් වනු ඇති බවයි.
බුදුරජාණන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත මනා කොට ආදර්ශයට ගනිමින් පරාර්ථකාමීත්වය තුළ සමානාත්මතාවෙන් සහ සමාජ සාධාරණත්වයෙන් යුතු දියුණු රටක් ගොඩනඟමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ පිළිබඳ මෙරට ජනතාවගේ අපේක්ෂා ඵල දැරීම වෙනුවෙන් අප තව තවත් සද් අධිෂ්ඨානයෙන් සහ වීර්යයෙන් යුතුව එක්ව පොරබඳිමුයි මෙම පින්බර වෙසක් මංගල්‍යයේදී මම සියලු දෙනාට ඇරයුම් කරමි.
බුදුන් වහන්සේගේ දේශනාව තුළ ලෝක සාමය උදෙසා මහැඟි පණිවිඩයක් ගෙන දෙන අතර එම ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගනිමින් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ අනුව කටයුතු කරමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බවද මෙහිලා සිහිපත් කරනු කැමැත්තෙමි.
ධර්මාවබෝධයෙන් සියලු සිත් සතන් ආලෝකවත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
මානව සිත්සතන් සුවපත් කිරීමට සියලු දෙනා එක්සිත්ව එක්සත්ව ඇත්වැල් බැඳගනිමු – අගමැතිනි
මානව සිත්සතන් සුවපත් කිරීමට ද මෙම වෙසක් කාලය වඩාත් සුදුසු බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නිකුත් කළ වෙසක් පණිවුඩයේ සඳහන් වේ. එය මෙසේය.
සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව පෙළගැසෙන මේ වෙසක් සමයේ සමස්ත රටවැසියන් වෙත වෙසක් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි.
ශ්‍රී ලංකාවාසී අපගේ ජන ජීවිතය ඈත අතීතයේ සිටම බුද්ධ දර්ශනය හා බැඳී පවතී. එය බුදු දහමෙන් අපට ලැබුණු දායාදයකි. අප රටේ විවිධ ජාතීන් විවිධ ආගම් අදහමින් සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත් වන අතර සියලුම දෙනා එක්ව වෙසක් උත්සවය වැනි ප්‍රධාන ආගමික උත්සවයක් සැමරීම ඊට හොඳම නිදසුනකි.
‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීමේ අපේ තේමා පාඨය මූලික කරගෙන පිහිටුවාගත් අප රජය යටතේ එළැඹි පළමු වෙසක් උත්සවය මෙයයි. අප දේශය නිවැරදි පරිවර්තනයකට යොමු කරමින් සිටින මෙවන් අවධියක මානව සිත්සතන් සුවපත් කිරීමට ද මෙම වෙසක් කාලය වඩාත් සුදුසු බව මගේ විශ්වාසයයි. ඒ සඳහා සියලුම දෙනා එක්සිත්ව හා එක්සත්ව ඇත්වැල් බැඳගනිමුයි මාගේ වෙසක් පණිවුඩය තුළින් ඔබ සැමට ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
මේ වනවිට ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී සමස්ත ලෝකවාසීන්ටම සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි මෙම වෙසක් සමයේ දී සමස්ත ශ්‍රී ලාංකිකයන් සමග මම ප්‍රාර්ථනා කරමි.
ඔබ සියලු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා! තුනුරුවන් සරණයි.
ලොවට වෛරයෙන් තොර මෛත්‍රියෙන් පිරි මාවත විවර කර දෙන්නේ බුදු දහමයි – විපක්ෂ නායක
අද ලෝකයම මුහුණදී තිබෙන ආර්ථික යුද්ධයට මෙන්ම අභියෝගයනට සාමය පිළිබඳ අභියෝග දිනන්නට බුදුරජාණන් වහන්සේ පෙන්වාදුන් ධර්ම මාර්ගය තුළ පැහැදිලි විසඳුම් දී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කර ඇති වෙසක් පණිවුඩයෙහි දැක්වේ.
එහි මෙසේද දැක්වේ.
අප මුහුණදී ඇති අභියෝග හමුවේ විසඳුම් සෙවීමේ දී බෞද්ධ දර්ශනය පෙන්වා දී ඇති හේතුඵල දහම මැනවින් වටහා ගැනීම අතිශය වැදගත් වේ. අප රටක් වශයෙන් මුහුණදී ඇති ගැටලු හමුවේත් ලෝකය හමුවේ මුහුණදී ඇති ගැටලු හමුවේත් විසඳුම් සෙවීමට උත්සුක වන්නේ ප්‍රශ්නයක් තුළින් පැනනැඟුණු ඵලයට මිස, එම ගැටලුව පැනනැඟුණු හේතුව සොයා බලා එය නැති කිරීමට නොවේ. යමක් ඇති වන්නේ කෙසේද එයට හේතුව සොයා බලා පිළියම් යෙදිය යුතු යැයි උගන්වන උතුම් බුදු දහම අප ප්‍රායෝගිකව හඳුනාගත යුත්තේ එබැවිනි.
අපට ලෝකයට ලබාදිය හැකි මිල කළ නොහැකි වටිනාම සම්පත වනුයේ නිර්මල ථෙරවාදී දහමයි. ඒ සඳහා වූ අවස්ථාවන් පුළුල් කිරීම, මහා සංඝරත්නය දැනුමෙන් පෝෂණය කිරීම, සංඝ සාසනයේ චිරස්ථිතිය සහ පැවැත්ම සඳහා වූ අපගේ වගකීම සහ වගවීම අත් නොහළ යුතු මෙහෙවරක් බව අප තරයේ වටහා ගත යුතුය. බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සීයක් ඉක්මවූ මේ මොහොතේ ලොව පුරා බෞද්ධ ජනයා තෙමඟුල සමරනුයේ උන්වහන්සේගේ දහමෙහි විශිෂ්ටත්වය හඳුනාගෙන ඇති නිසාවෙනි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ දී වදාළේ ද මගෙන් පසුව ධර්මය ගුරුතන්හි තබා කටයුතු කරන ලෙසයි.
මේ වෙසක් දිනයේ අපගේ අධිෂ්ඨානය විය යුත්තේ ද ඒ උදාර දැක්ම අනුව ධර්මය ගුරුතන්හි තබා යහපත් ලෝකයක් ගොඩනැඟීමට අපගේ කැපවීමයි. එය වෛරයෙන් තොර මෛත්‍රියෙන් පිරි ලෝකයක මාවත විවර කර දෙනු ඇත.