ශ්‍රී දළදා වන්දනාව සහ ජාතික ආගමික සහජීවනය

230

2025 අප්‍රේල් මස 20 වැනිදා ඉරිදා

භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙහි තිබූ දන්ත ධාතුන් වහන්සේලා සිවු නමක් පිළිබඳ ඉතිහාසයෙහි සඳහන් වෙයි. මේ ධාතුන් වහන්සේලාගෙන් දෙනමක් දිව්‍යලෝක දෙකක වැඩවාසය කරන බවත්, සෙසු දන්ත ධාතුන් වහන්සේලා දෙනම ගාන්ධාර දේශයේත්, කාලිංග දේශයේත් වැඩවාසය කළ බව සඳහන්ය. බුදුන් වහන්සේ ආදාහනය කිරීමෙන් පසු උන්වහන්සේගේ ප්‍රමුඛතම ශ්‍රාවිකාවක වූ ඛේමා භික්‍ෂුණිය විසින් උන්වහන්සේගේ වම් අකු ධාතුවට අයත් දන්ත ධාතුන් වහන්සේ නමක් බ්‍රහ්මදත්ත රජතුමාට ප්‍රදානය කළ බව සඳහන් වේ. ඛේමා භික්‍ෂුණිය වූ කලී ගිහි දවස බිම්බිසාර රජතුමාගේ බිසවය. ඇය වෙතින් ලබාගත් දන්ත ධාතුන් වහන්සේ එවකට කාලිංග දේශයෙහි අගනුවර වූ දන්තපුරයේ තැන්පත් කරන ලදී. අනතුරුව කාලිංගයේ විසූ ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරියත්, දන්ත නමැති කුමාරයාත් විසින් ක්‍රි.ව. 301 ත් 328 ත් අතර කාලයේ දී එම දන්ත ධාතුන් වහන්සේ ඉතාම රහසින් ලංකාවට ගෙන එන ලදී. එකල අනුරාධපුර රාජධානියේ රජ කළේ සිරි මේඝවර්ණ රජතුමාය. ඔහු විසින් ඉතා පරිස්සම්සහගත ලෙස අනුරාධපුර මහාගිරි විහාරයේ විශේෂ කුටියක් තුළ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කළ බව ඉතිහාස කතාවල සඳහන් වේ. දන්ත ධාතුන් වහන්සේගේ භාරකාරයා ශ්‍රී ලංකාවේ රජ වන බවට විශ්වාසයක් රාජාණ්ඩු කාලයේ දී තිබිණ. අනුරාධපුර සමයෙන් පසු පොලොන්නරුව රාජධානියේ ද, දඹදෙණිය රාජධානියේ ද, ගම්පොළ රාජධානියේ ද ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තිබිණ. කෝට්ටේ රාජධානිය සමයේ දී රජවාසලට ඉතාම ආසන්නයෙන් පිහිටි විහාරාරාමයක ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර තිබූ බව හංස සංදේශය, ගිරා සංදේශය, සැළලිහිණි සංදේශය යන කාව්‍යවල සඳහන් වේ. දොන් ජුවන් ධර්මපාල පෙරියබණ්ඩාර නමැති අන්‍යාගමික රජු කෝට්ටේ රාජධානිය භාරගත් සමයේ දී සැදැහැවත් බොදුනුවන් පිරිසක් සහ භික්‍ෂුන් වහන්සේලා පිරිසක් විසින් දන්ත ධාතුන් වහන්සේ රත්නපුරයේ දෙල්ගමු විහාරයට ගෙන ගොස් සඟවන ලදී. එය මහනුවර ශ්‍රී දළදා මාලිගය වෙත වැඩම කරනු ලබන්නේ පළමු වන විමලධර්මසූරිය රජතුමාගේ සමයේදී ය. හිරිපිටියේ දියවඩන රාල විසින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඉතා සුරක්‍ෂිත ලෙස දළදා මාලිගාවට ගෙන එනු ලැබීය.

දන්ත ධාතුන් වහන්සේ සතු ඉතිහාස කතාව අවුරුදු දෙදහසකට වඩා පැරණිය. එසේම එය ලිඛිතය. පූජනීය වස්තුවක් පිළිබඳ මෙවැනි ලිඛිත ඉතිහාස කතා මෙලොව ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි. මේ නිසා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට වසර දෙදහසකට වැඩි අති දීර්ඝ භෞතික ඉතිහාසයක් තිබේ. ඒ අවුරුදු දෙදහස් ගණන තිස්සේම දන්ත ධාතුන් වහන්සේ පසුපසින් ආධ්‍යාත්මික ඉතිහාසයක් ද ගමන් කළේය. මේ පූජනීය වස්තුවට මේ රටේ සිංහල බෞද්ධ ජනයා පමණක් නොව අන්‍යාගමිකයෝ ද මහත් සේ ගරු කරති. වික්ටෝරියා
රැජිණ එංගලන්තයේ රජ කරන සමයේ දී මෙරටට පැමිණි ඇගේ පුත්‍රයා වූ වේල්ස් කුමාරයා විසින් දන්ත ධාතුන් වහන්සේ බැහැදැකීම සඳහා ශ්‍රී දළදා මාලිගාවට යන ලදී. එහිදී වේල්ස් කුමාරයා ඔටුන්නක් හා සමවූ සිය රාජකීය හිස්වැස්ම ඉවත් කර දන්ත ධාතුන් වහන්සේට සිය ගෞරවය ප්‍රකාශ කළේය. එවකට දන්ත ධාතුන් වහන්සේ භාරව සිටි මහනායක භික්‍ෂුන් වහන්සේලා දළදා කරඬුව විවර කර වේල්ස් කුමාරයාට දන්ත ධාතුව ප්‍රදර්ශනය කළේය. ඒ කාලයේදී මුළු රටම විශාල මඟුල් ගෙයක ස්වභාවය ගත්තේය. වේල්ස් කුමාරයා ලංකාවට එන්නේ එක්දහස් අටසිය ගණන්වලය. එකල මේ රටේ විදුලිබලය නැත. වේල්ස් කුමාරයා පිළිගැනීම සඳහා කෙහෙල් කොට සහ පුවක් ගස් ද, ගොක් කොළ ද, යොදාගෙන තොරණ ඉදිකර තිබිණ. ඒ තොරණ ආලෝකවත් කරන ලද්දේ කැකුණ ඇට තෙල් සහ තල තෙල් යෙදූ පහන්වලිනි. දළදා මාලිගාව ද එවැනි පහන් දහස් ගණනකින් ඒකාලෝක කර තිබිණ. කොළඹ සිටි ඉංග්‍රීසි ප්‍රභූවරු ද, ආණ්ඩුකාරයා ද, දේශීය ප්‍රභූවරු සියලු දෙනාම ද එම දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීමටත්, දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමටත් තම වාරය එනතුරු පෝලිම් ගැසී සිටියහ.

මේ දිනවල පැවැත්වෙන දන්ත ධාතු ප්‍රදර්ශනය එම උළෙලේම පුනරුච්චාරණයකි. මෙයට අවුරුදු 16 කට හෝ 18 කට පෙර ද මෙවැනිම දළදා ප්‍රදර්ශනයක් මෙහි පැවැති නමුදු අද පවතින උනන්දුව හෝ උද්‍යෝගයක් එකල නොතිබිණ. ඓතිහාසික වාර්තා සමග සසඳන කල වේල්ස් කුමාරයාගේ සංචාරයෙන් පසු වැඩිම උද්‍යෝගයක් සහිතව මෙරට පැවැත්වෙන දළදා ප්‍රදර්ශනය මෙයයි. මේ දළදා ප්‍රදර්ශනය සඳහා බොදුනුවන් පමණක් නොව කතෝලික ප්‍රජාව ද, හින්දු ප්‍රජාව ද, ඉස්ලාමීය ප්‍රජාව ද මහත් සේ උපකාර කරන බව පෙනේ. එය මේ රටේ ආගමික සහජීවනයේ ලකුණකි. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මේ ආකාරයේ ජාතික සහ ආගමික සහජීවනයකි. මේ සහජීවනය ඉදිරියට ගෙන ගියොත් මේ රටේ අනාගතය ඉතා යහපත් වන බව අප මතක තබාගත යුතුය.


advertistmentadvertistment