ශ්‍රී ලංකා කාන්තාවන්ට පූර්ණ තරගාවලි ජයක්

131

තරගයේ වීරවරිය සචිනි නිසංසලා

තරගාවලියේ වීරවරිය විෂ්මි ගුණරත්න

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැති තෙවැනි සහ අවසාන එක්දින තරගයෙන් ලකුණු 161ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (21දා) සමත්විය. එයත් සමග තරග තුනකින් සමන්විත තරගාවලියේ 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකිවිය. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් වාර්තා කළ ප්‍රථම පූර්ණ තරගාවලි ජය ලෙස මෙය වාර්තා අතරට එක්විය.

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (21දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 275 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්විය.

ඊට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ පන්දුවාර 34යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 115ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තාවන්ට ලකුණු 161ක විශිෂ්ට ජයක් හිමිවිය.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායිකාව වන චමරි අතපත්තු ලකුණු 91ක්, නිලක්ෂිකා සිල්වා ලකුණු 63ක්, අනුෂ්කා සංජීවනී ලකුණු 55ක් සහ විශ්මි ගුණරත්න ලකුණු 44ක් ලැබීය.

පන්දු යැවීමේදී බ.ඉ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කරිෂ්මා රාම්හර්ක් ලකුණු 46කට කඩුලු 2, අෆී ප්ලෙචර් ලකුණු 36කට කඩුලු 1ක් සහ ක්වීන් ජෝසප් ලකුණු 40කට කඩුලු 1ක් බිඳ හෙළීය.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ තර්ජනාත්මක පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකාරිණියන්ට පිටියේ ස්ථාවර වීමට නොහැකි වූ අතර බ.ඉ. කොදෙව් නායිකාව වන හේලි මැතිව්ස් නොමැතිව මෙම තරගය ද ක්‍රීඩා කිරීමට ඔවුන්ට සිදු විය.

ඒ අනුව පන්දුවට පහරදීමේදී බ. ඉ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් චෙදීන් නෙටෝන් ලකුණු 46, ඒලියා ඇලන් ලකුණු 27ක්, සහ ස්ටෙෆනි ටේලර් ලකුණු 16ක් ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සචිනි නිසංසලා ලකුණු 28කට කඩුලු 5ක්, ඕෂධී රණසිංහ ලකුණු 14කට කඩුලු 2ක් සහ චමරි අතපත්තු, උදේශිකා ප්‍රබෝදිනී, කාව්‍යා කාවින්දි අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.

පන්දු යැවීමේදී ලකුණු 28කට කඩුලු 5ක් දවාගත් සචිනි නිසංසලා තරගයේ වීරවරිය ලෙසත්, විෂ්මි ගුණරත්න තරගාවලියේ වීරවරිය ලෙසත් සම්මාන ලැබීය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 275යි.

චමරි අතපත්තු 91, නිලක්ෂිකා සිල්වා 63, අනුෂ්කා සංජීවනී 55, විශ්මි ගුණරත්න 44

කරිෂ්මා රාම්හර්ක් 46-2, අෆී ප්ලෙචර් 36-1, ක්වීන් ජෝසප් 40-1

බ.ඉ. කොදෙව් කණ්ඩායම පන්දුවාර 34.5ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 115යි.

චෙදීන් නෙටෝන් 46, ඒලියා ඇලන් ලකුණු 27, ස්ටෙෆනි ටේලර් 16

සචිනි නිසංසලා 28-5, ඕෂධී රණසිංහ 14-2, චමරි අතපත්තු 11-1, උදේශිකා ප්‍රබෝදිනී 6-1, කාව්‍යා කාවින්දි 28-1

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment