මේ රටේ තිබෙන මත්කුඩු තොග කෙතරම් විශාල ද යත් ස්ථිර වශයෙන්ම එම තොග ස.තො.සේ. සහ පුද්ගලික අංශයේ තිබෙන පාන් පිටි තොගවලට වඩා විශාලය. ඒ අනුව ඉදිරියේ දී මත්කුඩුවලින් රොටි, පිට්ටු, ආප්ප වැනි දේ සාදා අනුභව කිරීමට මේ රටේ ජනතාවට අවකාශ ලැබෙනවා ඇත. ලංකාව ලෝකයේ මත්කුඩු හබ්එකක් බවට පත්වීමට ගත වුණේ අවුරුදු විසිපහකටත් අඩු කාලයකි. පාකිස්තානය කුඩු හබ්එකක් වීමට අවුරුදු පනහක් ගියේය.
ඇෆ්ගනිස්ථානය කුඩු හබ්එකක් වීමට අවුරුදු හතළිහක් ගියේය. කුඩු නිෂ්පාදනය කරන ගෝල්ඩන් ට්‍රෑන්ගල් නමැති අතිවිශාල භූමිය පිහිටා තිබෙන්නේ බුරුමයට සහ තායිලන්තයට යාබදවය. එහෙත් ඒ රටවල් දෙකම කුඩු වෙළෙඳාමට එන්නේ අවුරුදු විස්සක පමණ අතීතයක සිටය. එහෙත් ඉතා ඉක්මනින් කුඩු බිස්නස් එක අල්ලාගෙන ගොඩදමා ගැනීමට ලංකාවට හැකි විය. ඒ අනුව අද වන විට ඇතැම් ගෙවල්වල අල්මාරි තුළත් කුඩු කිලෝ දහයක්, පහළොවක් තිබේ. කුඩු පැකට් කිලෝ එකක් හෝ කිලෝ දෙකක් හසුවන්නේ ඉතා කලාතුරකිනි. ඒ වෙනුවට කුඩු කිලෝ පනහ, සීය යනාදී වශයෙන් පොලිස් අත්අඩංගුවට පත් වේ. මෙසේ අල්ලන කුඩු කොහාට යන්නේ දැයි ප්‍රශ්නයකි. සාමාන්‍යයක් වශයෙන් ගත් කල ආණ්ඩුව අවුරුද්දකට කුඩු කිලෝ හත්අටදාහක් අල්ලයි. සමහර විට එම ප්‍රමාණය මේ රටට එන සමස්ත කුඩු ප්‍රමාණය යැයි කීමට කෙනකුට පුළුවන. කුඩු කිලෝ අටදහසක් යනු රුපියල් බිලියන තුන, හතරක බඩුය. කොච්චර ඇල්ලුවත් කුඩු සප්ලයි එකේ අඩුවක් නැත. ඇතැම් අවස්ථාවලදී නඩු භාණ්ඩ වශයෙන් රස පරීක්‍ෂකට යවන කුඩු ආපසු එන්නේ තුනපහ කුඩු හෝ පාන්පිටි ලෙසය. පසුගිය දිනක මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනුණු නීතිවිරෝධී විස්කි තොගයක් තේ කහට බවට පත් විය. මෙවැනි ආතල් දෙන්නේ ලංකාව පමණි. අපි වෙන මොන මඟුලකින් නැතත් කුඩුවලින් ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට පත්ව සිටින්නෙමු.
මේ වනවිට අවුරුදු 13 නව යෞවන යෞවනියෝ පවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිති. ඔවුන් මේ රටේ අනාගතය නොවේද? කුඩු, Organic සහ Synthatic යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. හෙරොයින් සාදනු ලබන්නේ පොපි මල්වලිනි. පොපිවලින් අබින් සාදනු ලැබේ. අබින්වලින් හෙරොයින් සාදනු ලැබේ. මරිජුවානා යනු ගංජාවලින් සාදන මත්ද්‍රව්‍යයකි. මේ නිසා හෙරොයින් සහ අබින් යන දෙකම Organic කාණ්ඩයට වැටේ. එහෙත් අයිස් සහ කුෂ් යන මත්ද්‍රව්‍ය දෙකම රසායනික ද්‍රව්‍යවලින් සාදනු ලැබේ. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය දෙක Synthatic මත්ද්‍රව්‍ය ලෙස සැලකිය හැකිය. 1970 ගණන්වල මැද හරියේ දී එක්තරා මත් පෙත්තක් මේ රටේ තිබිණ. එය කුඩු කර රත් කර නහයට ඇද්ද විට ලෝකයේම සංචාරය කිරීමේ අවකාශය කුඩ්ඩාට ලැබේ. සාමාන්‍යයෙන් කුඩ්ඩා ලබන ආතල් එක විකෘති ආතල් එකකි. හැබැයි මේ ආතල් එක දිගටම ගත් විට කුඩ්ඩා භෞතික වශයෙන් ඇටසැකිල්ලක් බවට පත්වී විකෘතිය පස්ස පැත්තේ ගසාගෙන මියයයි. සාමාන්‍යයෙන් Synthatic මත්ද්‍රව්‍ය මිල අඩු බව මතක තබාගත යුතුය. රුපියල් 5000 ක කුඩු ගසා ලබන ආතල් එක රුපියල් 1000 ක අයිස් ගැසීමෙන් ලබාගත හැකිය. මෙහි තවත් එක තාක්‍ෂණික ප්‍රශ්නයක් තිබේ. එනම් කොතරම් මිල ඉහළ ගියත් කුඩුවල ඉල්ලුම එසේම පැවැතීමය. සාමාන්‍යයෙන් සීනි මිල ඉහළයත්ම ඉල්ලුම අඩු වේ. එසේම පාන්පිටි මිල ඉහළයත්ම ඉල්ලුම අඩු වේ. හාල් මිල ඉහළයත්ම ඉල්ලුම ටිකක් අඩු වේ. එහෙත් කුඩු මිල කොතරම් ඉහළ ගියත් ඉල්ලුම අඩු වන්නේ නැත. මේ ආර්ථික න්‍යාය තේරුම් ගැනීම ඉතා දුෂ්කරය. සාමාන්‍යයෙන් අප දන්නා පරිදි භාණ්ඩයක මිල තීරණය වන්නේ ඉල්ලුම සහ සැපැයුම අනුවය. එහෙත් කුඩු මිලට එය බලපාන්නේ නැත. කුඩු මිල කොච්චර නැග්ගත් එහි ඉල්ලුම එසේමය.
අපට හැඟෙන පරිදි මනුෂ්‍ය සංහතිය විනාශ වීමට කවර හෝ හේතුවක් තිබිය යුතුය. අප දන්නා පරිදි මෙයට අවුරුදු මිලියන කිහිපයකට පෙර මහපොළොවට කඩා වැදුණු උල්කාපාතයක් නිසා මුළුමහත් ඩයිනසෝර් සංහතියම වඳ වී ගියේය. මීට අවුරුදු දහ, පහළොස්දහසකට පෙර ලෝකයේ හටගත් මහා හිම යුගයක් නිසා එවකට මිහිමත සිටි මැමත් සත්තු ද මනුෂ්‍යයන්ගෙන් භාගයක් ද විනාශයට පත් වූහ. මේ වතාවේ දී මනුෂ්‍ය සංහතිය විනාශවීම සඳහා උල්කාපාත හෝ හිම යුගයන් අවශ්‍ය වන්නේ නැත. කුඩු විසින් ඒ ප්‍රශ්නය විසඳනු ලබනවා නොවේද?