ෂෙල්ටන් ප්‍රේමරත්න ගාන්ධර්වයාණෝ දැයෙන් සමුගනිති

71

දශක ගණනාවක් ශ්‍රී ලාංකික සුභාවිත සංගීත ක්ෂේත්‍රයට අනූපමය මෙහෙවරක් කළ ප්‍රතිභාපූර්ණ සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්නයෝ ඊයේ ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වූහ.

ඔහු මියයන විට 93 වන වියේ පසුවිය.

හෙළ සංගීතය තුළ නවමු පර්යේෂණ හා අත්හදා බැලීම් ද සිදු කරමින් අපේ සංගීතය ජාත්‍යන්තර තලයට ඔසවා තබන්නය. තම ජීවිත කාලයම කැප කළ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් අලුත් පරපුරක් ද සංගීත දැනුමෙන් පරිපූර්ණව දයාද කරලීමට ද පුරෝගාමී වූවේය. මෙරට සංගීත සංධ්වනි ඉතිහාසයේ පුරෝගාමීවූවකු ද වූ එතුමන් වරෙක ශ්‍රී දළදා මාලිගාව අබියස සිදුකළ බොදු ගී සජ්ක්‍ඨායනාවක් තුළ ‘දහසක් මුවින් බොදු ගී’ සමගින් ඉදිරිපත් කළ දැවැන්ත සංගීත අත්දැකීම මහත් ආන්දෝලනයකට එදා ලක්වූවෙකි.

ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීත ක්ෂේත්‍රයට පිවිසෙනුයේ 1952දී වේදිකාගත කළ “හීන කුලය” නම් නාට්‍ය හරහාය.

ලංකාවේ වැඩිම මුද්‍රා නාට්‍ය ප්‍රමාණයකට සංගීතය සපයා ඇත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්න විසිනි.

“හුණුවටයේ කතාව”, “කෝන්තරේ’‘, “මන්ත්‍රී හාමුදුරුවෝ”, “හොටබරි යුද්දේ”, “තහංචි” හා “කුවේණි” ඔහුගේ වේදිකා නාට්‍ය සංගීතයේ දස්කම් මනාවට පෙන්වූ උදාහරණ කීපයකි.

සිංහල චිත්‍රපටයක ආ ප්‍රථම ඉංග්‍රීසි ගීතය වන්නේ “My dreams are roses for my love” ගීතයයි. (රෝමියෝ ජුලියට් චිත්‍රපටයේ) මෙහි පද රචනය මර්සලින් ජයකොඩි පියතුමා විසින් කරනු ලැබූ අතර, සංගීතවත් කළේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසිනි.

එමෙන්ම සිංහල චිත්‍රපටයක එන දිගම තේමා ගීතයේ නිර්මාපකයා වන්නේ ද මොහුය. ඒ “රෝමියෝ ජුලියට් කතාවක්” චිත්‍රපටයේ තේමා ගීතය වූ හාරසිය වසරකට පෙර හිරු නොබසින රට යැයි නම් ලත් ගීතයයි.

මාලනි බුලත්සිංහල ගායනා කර “සිරිමඬලේ සිට’‘, සුජාතා අත්තනායක හා මිල්ටන් පෙරේරා ගායනා කළ “සුපුන් සඳක් නැඟීලා”, හරුන් ලන්ත්‍රා හා සුජාතා අත්තනායක ගායනා කළ “හංස රාණි”, රංජනී පෙරේරා ගායනා කළ “සීතල පාළුව”, සුජාතා අත්තනායක ගායනා කළ “රන්තරු පුන්ස`ඳ”, විජේරත්න වරකාගොඩ ගායනා කළ “හිරු පායනවා”, මොරිස් දහනායක ගැයූ “ඔන්න ඕලු මලක්”, ශ්‍රීමතී තිලකරත්න ගායනා කළ “කිරිකැටි පුතුනේ”, පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව හා චන්ද්‍රිකා සිරිවර්ධන ගායනා කළ “කැන්දන් එන්නේ කවදාද මා”, ගුණදාස කපුගේ ගායනා කළ නාඹර ගොයමට’‘ යන ගීත ෂෙල්ටන්ගේ මිහිරි නිර්මාණ අතරින් කීපයකි.

එසේම අතිශය ජනප්‍රිය වූ සමුද්‍රදේවි නාට්‍යයේ “ගොවේ ගෑනු පරාදයි” හා යුද්දෙට මම ගියා ගෑනි ගෙදර තියා” ගීතයන් ද ඔහුගේ නිර්මාණයන් අතර වේ.

අභාවප්‍රාප්ත ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment