මුදල් දෙවියන් බවට පත්කර ගත් බහුතරයක් වෙසෙන වර්තමාන සමාජයේ ව්‍යාපාරික අරමුණු පසෙකලා කිතුනු ජනතාවගේ අධ්‍යාත්මික ගුණවගාව පෝෂණය කරන සැබෑ දේව වචනයේ අර්ථය ඔවුන් වෙත සමීප කිරීමේ අමිල මෙහෙවරක යෙදී සිටින වර්බුම් රූපවාහිනී නාලිකාවට ලබන 30 වැනි දිනට වසර නවයක් සපිරේ. මේ ඒ නිමිත්තෙන් එහි සභාපති අනුර මිලන් ක්‍රිස්ටෝපර් ද සිල්වා මහතා සමග ‘දිවයින’ කළ සංවාදයයි.
ප්රශ්නය : මොකක්ද මේ වර්බුම් කියන්නේ?
මෙවැනි නාලිකාවක් ආරම්භ කිරීමේ අරමුණ මොකක්ද? වර්බුම් කියන වචනයේ අර්ථය දේව වචනයානෝ නැතහොත් දිව්‍ය වචනය කියන එකයි. මේක කිතුනු ජනතාවගේ හඬ පතුරන තැනක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ හඬ කිතුනුවන්ට කියා දෙන මාධ්‍යයක්. කිතුනුවන්ට ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් ලෝකය සමග බෙදාගන්න පුළුවන් අල්තාරයක් එහෙමත් නැති නම් ඥානකාන්තියක්. මේක ඕනෑම ගිහි පැවිදි අයෙකුට විවෘතයි. නමුත් අපි ප්‍රතිපත්තියක් ලෙස මෙතන දී දේශපාලන හෝ ආගම් ගැන කතා කරන්න, ඒවා විවේචනය කරන්න ඉඩදෙන්නේ නෑ. කිතුනු මූලධර්මවාදීන්ගේ ක්‍රියා ගැනවත් මෙතැනදී සංවාදයට ලක්කරන්න බැහැ. අපේ මූලිකම අරමුණ කිතුනුවන් දෙවියන් වහන්සේ ගේ දේව වචනයට නැඹුරු කිරීම මිස අනෙක් ආගම් හෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම නෙමෙයි.
ප්රශ්නය: වර්බුම් කතෝලික සභාව පවත්වාගෙන යන නාලිකාවක් ද?
ඇත්තෙන්ම නැහැ. ශ්‍රී ලංකා කතෝලික මඬුල්ලේ පූර්ණ අනුමැතිය යටතේ අපි වර්බුම් පවත්වාගෙන ගියත් මේකට කතෝලික සභාවෙන් මුදල් ලැබෙන්නේ නැහැ. මේ ගොඩනැඟිලි, මගේම වියදමින් මගේම ඉඩමක හදලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම විගණනයට ලක්වන ආයතනයක්. මේ වනවිට පූර්ණකාලීන සේවකයන් 67 දෙනක් වැඩ කරනවා. ඊට අමතරව අනියම් පදනමේ අය 10ක් විතර ඉන්නවා. අවම වශයෙන් අපිට මසකට රුපියල් ලක්ෂ 70ක් විතර බරපැනක් දරන්න වෙනවා. අපේ වැඩ ගැන පැහැදුන යම් යම් දානපතින් මාසිකව අපිට යම් ආධාරයක් දෙනවා.
ප්රශ්නය: ඉදිරි සැලසුම් මොනවාද?
දහම් පාසල් අතර ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් පවත්වන්න වගේම විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තරුණ පරපුරට ඔවුන්ගේ සමාජීය ප්‍රශ්න ඉදිරිපත් කළ හැකි රටේ සංහිඳියාව ඉහළ දමන වැඩසටහන් පවත්වන්න අපි සැලසුම් කර තිබෙනවා. ඒ වගේම මානව හිමිකම්, නීතිය හා සාමය පිළිබඳ ප්‍රවීණයන් කැඳවා වැඩසටහන් දියත් කරන්නත්, ඒ වගේම ජනතාවට සිය හැකියාවන් රටට ලොවට පෙන්වන්න රියැලිටි වැඩසටහන් පවත්වන්නත් අපේ අදහසක් තිබෙනවා. කතෝලික දේවස්ථානවල දිව්‍ය පූජා පැවැත්වීම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වන ගීතිකා කණ්ඩායම්වලට ඔවුන්ගේ හැකියාවක් පෙන්වන්න අවස්ථාවක් දෙන අතරතුර අන්නවිරාල මහත්වරුන්ගේ අත්දැකීම් අන් අය අතර බෙදා ගැනීම සඳහා වැඩසටහන් සැලසුම් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.
ප්රශ්නය: වර්බුම් නාලිකාව විකාශනය කිරීමට අදාළ තාක්ෂණය ගැන කතා කළොත්?
පිළිතුර: එච්. ඩී. තාක්ෂණය තමයි අපි ඒ සඳහා යොදා ගන්නේ. ඩයලෝග් පියෝ ටී.වී. ප්‍රී සැට් කියන මාධ්‍ය ඔස්සේ අපි විකාශනය කරනවා. මේ ස්වාධීනව විකාශනය කරන්න අවශ්‍ය විකාශන සංකේත ලබාදෙන ලෙස අපි වසර ගණනාවක් තිස්සේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මූලික ගාස්තු ගෙවීම් කර තිබුණත් තාම එකී සංකේත නොලැබීම නිසා අපිට අනිසි වියදමක් දරන්න සිද්ධ වෙලා තියෙනවා.
ප්රශ්නය: වර්බුම් නරඹන ජනතාවගෙන් ඔබ කරන ඉල්ලීම මොකක්ද?
පිළිතුර: මගේ ව්‍යාපාරවලින් උපයන මුදලින් තමයි අපි බොහෝ විට වියදම් පියවා ගන්නේ. මම ජීවත් වෙන තුරා කොහොම හරි වියදම් දරාගෙන මේක ඉදිරියට පවත්වාගෙන යන්න උපරිම උත්සාහ දරනවා. නමුත් මගෙන් පසු මේ මෙහෙවර ඉදිරියට ගෙනියන්න නම් මම හිතන්නේ කිතුනු ජනතාවගෙන් අවම වශයෙන් වර්බුම් රූපවාහිනිය නරඹන අයගෙන් හෝ මාසිකව සුළු ආධාරයක් හෝ ලැබෙනවා නම් අනාගත අඩිතාලම සුරක්ෂිත කරන්න ඒක ලොකු පිටිවහලක් වේවි කියලා හිතනවා. අපේ නාලිකාව අද වනතුරු කිසිම වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරය කරලා නෑ. ඉදිරියටත් ඒ ප්‍රතිපත්තිමය මත තමයි අපි කටයුතු කරන්නේ. මම වසර ගණනාවක්ම විදේශ රැකියාවක් කළා. මම රට ගියේ ඇත්තෙන්ම මුදල් උපයා ගන්න තමයි. නමුත් 1988.02.07 වැනිදා ඕමාන් රාජ්‍යයේ දේවස්ථානයක පැවැති දිව්‍ය පූජා යාගයකට එක්ව සිටිය දී තමයි මගේ සහ මගේ බිරිඳ මල්ලිකා ද සිල්වාගේ ජීවිතවලට දෙවියන් වහන්සේ ජීවමානයි කියන අත්දැකීම් ලැබුණේ. සල්ලි උපයා ගත්තා මුළු ජීවිතයම සාර්ථකයි කියන අනෙක් අය තුළ තිබෙන මතයට තමයි අපිටත් තිබුණේ. නමුත් ඒ සිතුවිල්ල අපේ සිත් තුළින් වෙනස් වුණා. අපි වටිනවා හිතාගෙන හිටපු දේවල් නෙමෙයි වටින්නේ දෙවියන් වහන්සේගේ වචනයයි කියන අත්දැකීම අපට එදා ලැබුණා. ඒ අත්දැකීම් ඒ වරප්‍රසාදය තවත් කෙනෙකුගේ ජීවිතයට එක් කරන්න තමයි අපි මේ නාලිකාව ආරම්භ කළේ.
සංවාද සටහන :
ඒ. ජේ. ඒ. අබේනායක