‘ජයගමු ශ්‍රී ලංකා’ දීප ව්‍යාප්ත ජංගම සේවාව අද අනුරාධපුරදී ඇරැඹෙයි

129

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා’ දීප ව්‍යාප්ත ජනතා ජංගම සේවා වැඩසටහනේ සමාරම්භක වැඩසටහන අද (31දා) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ආරම්භ වීමට නියමිතය.

මෙම වැඩසටහන අද සහ හෙට (01දා) දෙදින පුරා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී විදේශ රැකියා සඳහා වෘත්තීය පුහුණු අවස්ථා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, ශ්‍රම බළකායේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන ගරුසරු වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය.

මේ අතර ජනතාවට සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් සහ සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා විශේෂ සේවාවන් ද මෙහිදී සැපයේ. මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්වය ප්‍රදානය කිරීමට ද නියමිතය.

යළි මෙරටට පැමිණි විගමනික ශ්‍රමිකයන් ව්‍යවසායකයින් බවට පත්කිරීමේ විශේෂ මගපෙන්වීමේ වැඩසටහනක් ද විගමනික ශ්‍රමිකයන්ගේ පවුල්වලට මහන මැෂින් සහ රෝද පුටු ප්‍රදානය කිරීමක්ද ඊට ඇතුළත්ය. තරුණ පරපුර නව වැඩ ලෝකයට සූදානම් කිරීමේ ‘ස්මාට් යූත්’ වැඩසටහනද මෙහිදී ආරම්භ වෙයි.

මේ අතර ශ්‍රම වාසනා අරමුදල යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීමක් ද මෙහිදී සිදු කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment