අරුන්දිකගේ පුතා ඇතුළු 6ක් රිමාන්ඩ්

318

අයුතු ජන රාශියක සාමාජිකයන්ව රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වී වෛද්‍ය සිසුන් පිරිසකට පහරදී තුවාල සිදුකර කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ පුත් අරවින්ද රන්දිල ජෙහාන් ප‍්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 06 දෙනකු ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට වත්තල මහෙස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා ඊයේ (03දා) නියම කළේය.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ පුත් අරවින්ද රන්දිල ජෙහාන් ප‍්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරයාගේ රියැදුරු යැයි කියන විපුල ලක්සිරි කුමාර, මොහොමඩ් මර්වාන්, අසේල පූර්ණ කොඩිතුවක්කු, ලක්ෂාන් සඳකැලූම් සහ දිනේෂ් කැලූම් සමරතුංග යන සැකකරුවන් හය දෙනා මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

මැර කණ්ඩායමේ පහරකෑමට ලක්ව රාගම වෛද්‍ය පීඨයේ සිසුන් තිදෙනකු රාගම ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවට අධිකරණයේදී සඳහන් විය. රාගම වෛද්‍ය පීඨයේ 03 සහ 04 යන වසරවල වෛද්‍ය සිසුන් දෙපාර්ශ්වයක් අතර ඉකුත් 01 වැනිදා සවස් කාලයේ මුලින්ම බහින්බස් වීමක් සිදුවී ඇති අතර එය ගැටුමක් දක්වා දුරදිග ගොස් නොතිබුණි.

එදිනම රාත‍්‍රියේ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට වාහනවලින් පැමිණි මැර කණ්ඩායමක් විසින් වෛද්‍ය සිසුන්ට පහර දී ඇති බව ද, මෙම සිද්ධියට මුල් වූ වෛද්‍ය සිසුවා මීගමුව රෝහලට ඇතුළත් වී ප‍්‍රතිකාර ලබමින් පසුවන බව ද පොලිසිය උසාවිය හමුවේ පැවසීය.

එම ශිෂ්‍යයා ද 7 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් ඉන්දික සිල්වා මහතා 3 දා නියෝග කළේය.

රාගම පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. බුද්ධික රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. අසේල පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පරීක්ෂණ අවසන් නොමැති බවත් පොලිසිය අධිකරණය හමුවේ පවසා සිටි අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ද පැවසීය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක සහ බී. ටී. කේ. – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment