ශ්‍රී ලංකාවේ භේදයකින් තොරව සියලු දෙනාගේ පුද පූජා සැලකුම්වලට ලක්වන විශේෂයෙන් කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලදී ගණ දෙවියන් තරමටම උපකාරිවන අයකු ඇත්නම් ඒ සරස්වතී මෑණියන් පමණි. මෙතුමිය ගැන ජනප්‍රවාද බොහොමයක් ඇති බව සඳහන් වේ. සරස්වතී මෑණී උපත ගැන සැලකීමේදී ප්‍රධානවම පිළිගන්නා මතය නම් ඉන්දියාවේ උතුරු පෙදෙසේ මායිමක් වූ සරස්වතී ගංගාව ආශ්‍රිතව තිබූ ජනාවාසවල මිනිසුන් තමාගේ ගොවිතැන් බත් සරුකිරීමට උදව් උපකාර කරන්නා වූ සරස්වතී ගංගාවට දේවත්වයෙන් සැලකූ බවත් පසුකලෙක ඉමහත් බැතියෙන් සරස්වතී ගංගා මෑණී සරස්වතී මෑණි ලෙස දේවත්වයෙන් පිදුම් ලැබූ බවත්ය.
සරස්වතී මෑණියන්ට අත් සතරක් හිමිය. ඉහළට එසවුණ වමත හා දකුණත වීණාවක්ද පහළට නැඹුරු දකුණත ජපමාලයක්ද, වමතේ පුස්කොළ පොතක්ද වේ. රන් නෙළුමක වැඩවසන මෙතුමිය පමණක් වාහනය අහිමි එකම දේවතාවිය බව බවත්, සුදු හංසයා ඇයගේ වාහනය වේ.
මහා බ්‍රහ්මයාගේ දියණියක ලෙස ශත රූපා නමින් උපත ලැබූ බවත් සඳහන් වේ. ඇගේ රූපයෙන් වශිකෘත වූ මහා බ්‍රහ්ම තෙමේ ඈ තමාගේ දරුවා බව අමතක කර ශතරූපා ඔහුගේ බිරිඳ කර ගත්තේය. මෙය දැනගත් දෙවිවරු ඔවුන්ගේ අප්‍රසාදය මහා බ්‍රහ්ම දෙවියන්ට දැන්වූ නමුදු ඔහු එය නොතකා හැරීය. ශතරූපා මහබඹු බිරිඳ වූ පසු සරස්වතී නමින් හැඳින්වීය. තවද මහා බ්‍රහ්ම බිරිඳ යන අරුතින් බ්‍රාහ්මනී නමින්ද සරස්වතී මෑණියන් හඳුන්වයි.
තවත් එක් ජනප්‍රවාදයකට අනුව ත්‍රිමූර්තිය වන විෂ්ණු, බ්‍රහ්ම, ඊශ්වර විසින් එක්වී මැවූ කාන්තාව සරස්වතී දේවිය විය. රූමත් බවින් තැම්පත් ඇය ගැන ලොල්වූ ත්‍රි මූර්තිය අතරේ බලවත් අරගලයක් ඇති විය. මෙයින් පීඩාවට පත් වූ සරස්වතීය ස්ත්‍රීන් තිදෙනෙක් බවට පත්විය. බ්‍රහ්ම දෙවියන්ට සරස්වතියද, විෂ්ණු දෙවියන්ට ලක්‍ෂ්මීද ශිව දෙවියන්ට දුර්ගා දේවියද ලෙසිනි. මහා බ්‍රහ්මයාට දිනක් යාගයක් කිරීමට අවශ්‍ය විය. එම යාගය කරන අතරතුර අනිවාර්යයෙන්ම බිරිඳ වන සරස්වතී දෙවඟනද සිටිය යුතු නිසා ඇය කැඳවාගෙන ඒමට අයකු පිටත් කළේය. පණිවිඩය ලැබෙන විට සරස්වතී දේවිය ස්නානය සඳහා ඖෂධ විලවුන් ගත ගල්වා සිටි නිසා ස්නානයෙන් පසු පැමිණෙමියි දන්වා යැවීය. ඇගේ ප්‍රමාදය නොඉවසූ මහා බ්‍රහ්ම කෝපයට පත්විය. යාගය කල් දැමීමට නොහැකි බව පවසමින් වෙනත් බිරිඳක් සොයා ගේනමෙන් දෙවිවරුන්ට පැවසූහ. එබසට අවනතව අයකු සොයා ගිය අයට, එක් සෘෂි දියණියක් වන ගයාත්‍රි දේවිය සම්මුඛ විය. ඇය කැඳවා ගොස් ඇය හා මහ බඹු අතර විවාහය සිදු කළෝය. සරස්වතී දේවිය පැමිණෙන විට එහි යාගය නිමා වී තිබුණි. තම සැමියා වන මහ බඹු පසෙකින් සිටින ගයාත්‍රිය දැක කලබලයට පත්ව කේන්තියෙන් කෑගසන්න විය. පසුව ඇති වූ එකඟතාවයකට අනුව ගයාත්‍රිය දෙවන බිරිඳ වශයෙන් පිළිගැනීමට සරස්වතී දේවියට සිදුවිය. නමුත් තවත් තැනක පැවසෙන්නේ ගයත්‍රිය මහ බඹුගේ අනියම් බිරිඳ බවයි.
රුවෙන් මෙන්ම නැන නුවණින්ද අගතැන්පත් සරස්වතී මෑණියන් හා බැඳි තවත් එක් ජනප්‍රවාදයක් නම් මහා බ්‍රභ්මයාගේ සේවයට කැපව සිටින කුම්භකර්ණ හා සමිභන්ද කතා පුවතයි. කුම්භකර්ණ නම් අසුරයා දිනපතාම තමා හට වරයක් දෙන මෙන් මහා බ්‍රහ්ම දෙවියන්ට කරදර කළේය. එම ඉල්ලීම මගහැර සිටීමට මහා බ්‍රහ්ම සමත් විය. මෙයින් හිත රිදවාගත් කුම්භකර්ණ තම තපස් වෘතයේ බලයෙන් ලෝකය ගිනිගෙන දැවෙන තරම් රස්නයක් ඇති කළේය. මෙයින් කලබලයට පත් දේව සමූහයා මහා බ්‍රහ්ම දෙවියන්ට පැමිණිලි කළෙන් ඔහුට එම වරය කුම්භකර්ණ වෙත නොදී බැරිවිය. ඔහු තම බිරිඳ වන සරස්වතිය කැඳවා මෙම ප්‍රශ්නයට කුමක් කරන් දැයි විමසීය. එවිට සරස්වතිය මෙසේ මා ඉදිරියේ ඔහුට වරය ප්‍රදානය කරන ලෙස මහ බඹුගෙන් ඉල්ලා සිටියාය. කුම්භකර්ණ වරය ඉල්ලන මොහොතේ සරස්වතිය ඔහුගේ දිවට ආරූඩ විය. මට අමරණීය බව දෙනු මැන යැයි ඉල්ලිමට උත්සාහ කළ ඔහුගේ දිව පැටලී මට සදාකාලික නින්දක් ලබාදෙනු මැන යැයි කුම්භකර්ණගේ මුවින් පිටවිය. මහබඹු එය අනුමත කර එය එසේ සිද්ධවේවායි ප්‍රාර්ථනා කළේය. කුම්භකර්ණට සිදුවූයේ සදාකාලික නින්දකට වැටීමටය. ඊට පෙර තමාට සිදුවූයේ අත්වැරැද්දක් බවත් එයට සමාවෙන ලෙසත් කුම්භකර්ණ මහබඹුගෙන් අයැදීය. ඔහු ගැන අනුකම්පාවෙන් එය සදාකාලික නින්දක් නොවී ඔහුට වරින්වර අවදිවීමට වරය ප්‍රදානය කරන ලදී.
සරස්වතිය හා ගණ දෙවියන් එකම යහනේ පුද ලැබීමද අපූරු කතාවක් වේ. මහබඹු කෙදිනකවත් තම විමානයට කිසිම දෙවි කෙනෙකු කැඳවා ගෙන නොගියහ. නමුත් මහා බ්‍රහ්ම දෙවිගේ අති මිත්‍ර ගණ දෙවියන්ට එම තහනම අදාළ නොවේ යැයි සිතූ ගණ දෙවියන් මහබඹු විමානයට ගියේය. ඔහු විමානයෙන් නොසිටි අතර සරස්වතී දේවිය රන් නෙළුමක් මත හිඳ වීනාව වයමින් සිටියාය. ඒ රුවෙන් වශීකෘතවූ ගණ දෙවියන්ට සරස්වතී කෙරෙහි ආදරයක් හට ගත්තේය. පෙරළා තම විමානයට ගියද ගණ දෙවියන්ට සරස්වතී දේවිය අමතක කළ නොහැකි විය. මේ ගැනම සිතමින් සිට සරස්වතී දේවිය අමතක කිරීමට නොහැකි වූ ගණ දෙවියන් තම විමානයෙන් අතුරුදහන් විය. මේ නිසා ලෝකයේ ඥානය තුරන් විය. මෙයින් කලබලයට පත් වූ දෙවිවරුන් ගණ දෙවියන් සොයන්නට විය. කිසිම තැනක ඔහුව නොදුටු විෂ්ණු දෙවියන් මේ බව ගණ දෙවියන්ගේ පියාවන ශිව දෙවියන්ට දැන්වීය. ශිව දෙවියන්ගේ දිව නෙතට ගණ දෙවියෝ අඳුරු වලාකුලක සැඟව සිටිනු අයුරු දැක මෙසේ සැඟව සිටීමට හේතුව ගණ දෙවියන්ගෙන් විමසූවේය. ශිව දෙවියන්ට හා ඒ සමග සිටි විෂ්ණු දෙවියන්ට කාරණය නොකියා සිටීමට ගණ දෙවියන්ට නොහැකි විය. සරස්වතී දුටු පමණින් ඈ කෙරේ ඇති වූ ආදරය නිසා ඇය හිමිකර නොගෙන ජීවත්වීම පලක් නැති බවත්, කිසිම ආහාරයක් නොගෙන නිරාහාරව හිඳ මිය යන බවත් ඔවුන් දෙපළ හා පැවසීය. ගණ දෙවියන්ට ඇය හිමි කරගැනීම තබා ඇය ගැන සිතීමටවත් නොහැකි බව ඒත්තු ගැන්වීමට ඔවුන් උපාය මාර්ගයක් යොදාගති. සරස්වතී දේවියට සමාන රූපයක් හිමි අයකු මවා ගණ දෙවියන්ට මුණ ගැස්සූ පසු ගණ දෙවියන් ඇය හා මහ බඹු විමානය අසලින් තම වාසබවනය වෙත ගමන් ගත්තේය. මහබඹු විමානයේත් මහබඹුට තුරුළු වී තවත් සරස්වතී දේවියක් සිටින බව දුටු ගණ දෙවියන්ට එසැනින් ඥානය පහළ විය. ත්‍රි මූර්තියෙන් සමාවගත් ගණ දෙවියන් ඉන්පසු සරස්වතී දේවිය හා එක්ව ලෝකයට ඥානය හා සියලු ශිල්ප කලා නිපුණත්වය ලබාදේ. එතැන් පටන් ලෝකයේ නැණ නුවණ ලබාදීම මුල් කරගෙන කරන සියලු කටයුතුවලදී මේ දෙපළ ප්‍රමුඛ වේ.
භාරතී, වීණා ධාරිණී, ගීත දේවි ධවල කමලනී, සරසවි, සරස්වතී සාවිත්‍රී, ගයාත්‍රි, සාරදා, වීණාපානී පුන්නාරි, සාරදා ආදි නම් බොහොමයකින් හැඳින්වෙන මෙතුමිය ඉතා ප්‍රිය කරන්නේ සුදු නෙළුම් මලට, සඳුන් තෙලට බෝකොළයටය. සරස්වතී තෙල, සරස්වතී කල්කය, සරස්වතී ගුලිය, සරස්වතී යන්ත්‍රය මෙතුමිය මුල් කරගෙන කරන ඉතා බලවත් දේ වේ. මීට අමතරව සරස්වතී ධාරණ මන්ත්‍ර, සරස්වතී මුඛ දිෂ්ටි, සරස්වතී මුඛාරූඩ, වශි, ඉනා හා ප්‍රසාද ආදිය ද වේ.
සරස්වතී මෑණියන් හට ඉරිදා දින හැර සතියේ සෑම දිනකම දිවා රාත්‍රි දෙකෙහිම 12.00ත් 12.12ත් අතර කාලය පුද පූජා සඳහා යොදා ගැනීම වැදගත් වේ.
පාරම්පරික ප්‍රවීණ ජ්‍යෙතිෂවේදීනි
අයි.එස්. රණසිංහ
AIPAA නියෝඡ්‍ය ජාතික සංවිධායක 2/29, 2 මාවත, පොල්වත්ත
වේයන්ගොඩ
0718-468621, 0711-061131