අන්තර්ජාතික 07 වන සකර්යා ශිෂ්‍ය කෙටි චිත‍්‍රපට උළෙලේදී, ලොව හොඳම ශිෂ්‍ය කෙටි චිත‍්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලාංකේය තරුණ සිනමා නිර්මාණකරු හසන්ත දිසානායක සමත්විය. ඔහුට මෙම ජයග‍්‍රහණය හිමිවූයේ ‘මට්න්’ නමින් නම් කර තිබූ විනාඩි 12 ක විකාශන කාපයකින් සමන්විත කෙටි චිත‍්‍රපටය සඳහාය.
සකාර් කෙටි චිත‍්‍රපට උළෙල සිසුන් වෙනුවෙන් වෙන්වූවක් වන අතර තුර්කි සංචාරක සහ සංස්කෘතික අමාත්‍යාංශය එරට සකර්යා විශ්වවිද්‍යාලය සමග සංවිධානය කරන ලද්දකි. මෙම චිත‍්‍රපට උළෙල සඳහා ලොව පුරා රටවල් 193 ශිෂ්‍ය තරගකරුවන්ගේ නිර්මාණ 7,000 කට අධික ප‍්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණි. හසන්ත දිසානායකගේ මට්න් ලොව හොඳම ශිෂ්‍ය කෙටි චිත‍්‍රපටය ලෙස සම්මානයෙන් පිදුම් ලැබූවේ එම චිත‍්‍රපට අතරිනි.
කැලණිය විශ්වවිද්‍යාලයේ, සිනමාව සහ රූපවාහිනිය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකු වන හසන්ත මෙම කෙටි චිත‍්‍රපටය නිර්මාණකරණය සඳහා ඉහළ තාක්ෂණික කැමරා භාවිතා නොකළද නිර්මාණයේ ගුණාත්මක බවට එය බලපෑමක් නොකළ අයුරු මෙසේ පැහැදිලි කරයි.
‘‘මා සමග තරග කළ අනෙක් රටවල තරගකරුවන්, ඔවුන්ගේ චිත‍්‍රපට සඳහා ලොව උසස් තාක්ෂණයෙන් යුතු මිල අධික කැමරා භාවිතා කර තිබුණා. එහෙත් අප සාමාන්‍ය කැමරා භාවිතා කර මෙම නිර්මාණය සිදු කළේ. ඒ අනුව කැමරාව සහ තාක්ෂණය යනු චිත‍්‍රපටය නොවේ යන්න පැහැදිලියි. චිත‍්‍රපටය සඳහා වැදගත් වන්නේ සංකල්ප සහ සිතීම බව පැහැදිලි වූ ජයග‍්‍රහණයක් තමයි මේ.’’
ස්වකීය ජයග‍්‍රහණය ශ‍්‍රී ලාංකික සිනමාව, ජාත්‍යන්තරය වෙත රැගෙන ගොස්, විදේශීය රටවල සිනමා ශාලාවල ශ‍්‍රී ලාංකික චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීමට අවශ්‍ය මාවත සකස් කරන බව ඔහු විශ්වාසය පළ කරයි.
හසන්තගේ මට්න් චිත‍්‍රපටය ඉරානයේ සහ දකුණු කොරියාවේ චිත‍්‍රපට සම්මාන උළෙලවලදී ද අවසන් වටයේ තරග කරමින් තිබේ. මෙම ජයග‍්‍රහණය සමග ඉදිරියේදී දීර්ඝ වෘතාන්ත චිත‍්‍රපට සහ ටෙලි නාට්‍ය නිර්මාණය කිරීම හසන්තගේ බලාපොරොත්තුව වී තිබේ.
ටී.කේ.ජී.කපිල