ලොරෙන්සෝ පුතා-4 යාත්‍රාවේ ධීවරයින් හයදෙනා උපවාසේ

1210

මහ සයුරේ ඵල නෙළන්න ගිය ධීවරයන්ට වෙච්චි දෙයක්

දරු පැටවු එක්ක ධීවර පවුල්වල සාමාජිකයින් අනාත වෙලා

ජනාධිපතිතුමනි, අපේ දුකට පිහිට වෙන්න ධීවර ජනතාව

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුව සිටිය දී සීෂෙල්ස් වෙරළාරක්ෂක බළකාය විසින් බේරාගත් ශ්‍රීලාංකික ධීවරයින් හයදෙනා මෙරටට ගෙන්වා ගැනීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසා කඩිනමින් තමන්ව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් රජයට බල කරමින් උපවාසයක් ආරම්භ කර ඇති බව ලොරෙන්සෝ පුතා 4 යාත්‍රා හිමිකරු, ඩබ්ලිව්. ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා මහතා කියා සිටී.

මෙම ධීවරයින් උපවාසය ආරම්භ කර ඇත්තේ මාර්තු පළමු වැනිදා රාත්‍රියේය. ඔවුන් නිරාහාරව සිටිමින් උපවාසය කරන බව යාත්‍රාවේ හිමිකරුට දැනුම් දීමෙන් අනතුරුව මේ සම්බන්ධව සොයා බලන ලෙස ඔහු සීෂෙල්ස් රාජ්‍යයේ තානාපති කාර්යාලය දැනුවත් කර තිබේ. කෙසේ වෙතත් මේ වනවිටත් ඊට බලධාරින් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ඩබ්ලිව්. ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා පවසන්නේ.

සීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා වරායේ ලොරෙන්සෝ පුතා – 4 යාත්‍රාව නැංගුරම්ලා අද වනවිට දින තිස්පහක් ගතව තිබේ. මාසෙකට අධික කාලයක් තිස්සේ මෙසේ ඔවුන්ව ගෙන්වා ගැනීමට කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් එම ධීවර පවුල් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත. ඔවුන්ගේ දෛනික සියලු කටයුතු අඩාල වී තිබේ.

ලොරෙන්සෝ පුතා-4 යාත්‍රාවේ ධීවරයින් හයදෙනා උපවාසේ
  • මීට සති දෙකකට පමණ පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයට ගොස් විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් හමුවී ධීවරයින් හයදෙනා මෙරටට ගෙන්වා දෙන මෙන් ඉල්ලීමක් කිරීමෙන් පසු දින පහක් ඇතුළත කෙසේ හෝ ධීවරයින් ගෙන්වා

ගැනීමට කටයුතු කරන බව තමාට කියා සිටිය ද අද වනතුරු මෙම ධීවරයන් පිරිස ගෙන්වා ගැනීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවයි යාත්‍රාවේ හිමිකරු කියා සිටින්නේ.

ලොරෙන්සෝ පුතා 4 බහුදින ධීවර යාත්‍රාව සමග ශ්‍රී ලංකික ධීවරයන් හයදෙනෙකු දික්ඕවිට වරායෙන් පිටත් වූයේ ජනවාරි දොළොස්වැනි දිනය. ලොරෙන්සෝ පුතා 4 පුතාගේ මංගල ගමන මෙයවීම විශේෂත්වයකි. යාත්‍රාවේ හිමිකරු මාරවිල තල්විල ප්‍රදේශයේය. ඔහු ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරායි. ඔහු සතු තෙවැනි ධීවරයාත්‍රාව මෙය වේ. ලොරෙන්සෝ පුතා 2 සහ 3 සෙසු යාත්‍රාය. යාත්‍රාවේ ගමන් ගත් ධීවර කාර්මිකයින් තොඩුවාව කුඩාවැව කල්පිටිය යන ප්‍රදේශවල පදිංචි කරුවෝය. ෆ්‍රැන්සිස් මිල්රෝයි මෙම කර්මාන්තයට එක් වන්නේ මීට වසර විස්සකට පමණ පෙරය. ඒ ලොරෙන්සෝ -1 ධීවර යාත්‍රාවෙනි. මීට වසර කීපයකට පෙර ඔහු යාත්‍රාව විකුණා දැමීමට ඔහු කටයුතු කළේය. 2023 ආරම්භයේ ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව නිෂ්පාදනය කිරීමට ඔහු භාර දෙන්නේ මීගමුව ප්‍රදේශයේ යාත්‍රා නිෂ්පාදනය කරන ආයතනයකටය. අඩි 50ක් දිග පළල අඩි 16ක් වූ කෝටි හතකට මිලදී ගත් යාත්‍රාවේ මංගල ගමන දියත් කරන්නේ මාස තුනකට පමණ අවශ්‍ය කෑම බීම ද රැගෙනය.

ලොරෙන්සෝ පුතා 4 ධීවර කාර්මිකයින් හයදෙනා ජාත්‍යන්තර මුහුදට පැමිණ අරාබි මුහුදු තීරයේ මසුන් ඇල්ලීමේ නිරත වෙමින් සිටින අතරතුර දී ජනවාරි 27 වැනි දින සවස 3.30 ට පමණ ඉරානයට අයත් අඩි හැටක් පමණ දිග යාත්‍රාවකින් පැමිණි අවි ගත් සෝමාලියානු කොල්ලකරුවන් තිදෙනෙක් යාත්‍රාවට නැඟ අහසට වෙඩි තබා තර්ජන සිදු කර බිය ගන්වා මෙම ධීවරයින් හයදෙනා ධීවර යාත්‍රාව සමග බලහත්කාරයෙන් රැගෙන යෑමට කටයුතු කර තිබේ.

මෙසේ රැගෙන යන අයුරු ඒ ආසන්නයේ ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රීලංකික ධීවරයින් පිරිසක් දැක ධීවර දෙපාර්තුමේන්තුවේ මෙහෙයුම් පද්ධතියට දැනුම් දී ඇත.

ඉන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා නාවුක හමුදාවට, අදාළ තනාපති කාර්යාලවලට, ධීවර ක්ෂේත්‍රයේ බලධාරීන්ට වෙරළ ආරක්ෂක බළකායට ඇතුළු ජාත්‍යන්තර ජාලයට දැනුම් දීමට කටයුතු කර තිබේ. අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු මංකොල්ලකරුවන් මැඬපැවැත්වීමේ මෙහෙයුම් සිදුකරනු ලබන ඒකාබද්ධ සමුද්‍රීය බළකාය සහ කලාපීය නාවික හමුදාව මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් ධීවර යාත්‍රාව මුදා ගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස ද දැනුවත් කළේය.

ලොරෙන්සෝ පුතා-4 යාත්‍රාවේ ධීවරයින් හයදෙනා උපවාසේ

ඒ අනුව බහරේනයේ පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බළකායට දැනුම් දීමට කටයුතු කර තිබේ. රටවල් 39ක් සාමාජිකත්වය දරන බහරේනයේ ඒකාබද්ධ සමුද්‍රීය බළකාය, නාවික යාත්‍රාවල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයකි. මේ අනුව ඉන්දීය නාවුක හමුදාව සිය මුර යාත්‍රාව වන sharadha යොදා පැහැරගත් යාත්‍රාව සොයාගැනීම සඳහා sea guardian ඩ්‍රෝනා යානා යැවීමට ද කටයුතු කෙරිණි.

එමෙන්ම සීෂෙල්ස් රාජ්‍යයේ විශේෂිත ගුවන් යානා දෙකක් සහ ටොපෑස් නැමැති නෞකාව ආධාරයෙන් විශේෂ මෙහෙයුම්වලින් සීෂෙල්ස් රාජ්‍යයේ අනන්‍ය ආර්ථික කලාපයේ තිබී සැක කටයුතු යාත්‍රාවක් පිළිබඳව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව දිගින් දිගට ම සිදුකළ නිරීක්ෂණවලදී එම යාත්‍රාවේ අවිගත් පුද්ගලයන් සිටින බවට තහවුරු විය. මෙහිදී සීෂෙල්ස් රාජ්‍යයේ උතුරු දෙසට රැගෙන යමින් තිබූ යාත්‍රාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී සීෂෙල්ස් රාජ්‍යයේ වෙරළාරක්ෂක බළකාය පැහැර ගත් ධීවරයන් බේරාගෙන සෝමාලියානු කොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පැහැරගත් යාත්‍රාව සීෂෙල් හි වික්ටෝරියා වරායට රැගෙන ඒමෙන් පසු ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට සීෂෙල්ස් රාජ්‍යයේ වෙරළ ආරක්ෂක බළකාය කටයුතු කර තිබේ. ශ්‍රී ලාංකික හයදෙනාම එම යාත්‍රාවේ රැඳී සිටිමින් නැවත දිවයිනට පැමිණි දිනය ඇඟිලි ගණන් කරමින් සිටී. අද වනවිට එම ධීවර පවුල් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටී මේ සම්බන්ධව අවධානය යොමු කිරීමට අදාළ බලධාරීන් කටයුතු නොකිරීම කනගාටුවට කරුණක්. ඉදිරි දින කීපය තුළ මීට විසඳුමක් ලබා නොදුන්නොත් මාරාන්තික උපාවාසයක යෙදෙන බවයි ධීවරයින් පවසන්නේ.

ලොරෙන්සෝ පුතා-4 යාත්‍රාවේ ධීවරයින් හයදෙනා උපවාසේ

මේ සම්බන්ධව අදහස් දක්වන ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ හිමිකරු වන ෆ්‍රැන්සිස් මිල්රෝයි පෙරේරා.

අදට මාසෙකට වැඩිය කාලයක් ගතවෙලා තියෙනවා මේගොල්ලෝ වික්ටෝරියා ධීවර වරායේ රැඳිලා. ඒත් තාම මේගොල්ලො ගෙන්න ගන්න කටයුතු කරලා නැහැ. මම කීපවතාවක්ම ධීවර අමාත්‍යාංශයට ඇතුළු වගකිවයුතු ආයතන සියල්ලට ම ගිහිල්ල මේ සම්බන්ධව දැනුම් දීල තියෙනවා. නමුත් අපිව සනසන උත්තර තමයි දුන්නේ. තව දවස් පහකින් එහෙම නැත් නම් සතියකින් ගෙන්න ගන්න පුළුවන් කියල කියනවා. ඒත් දැන් මාසෙකටත් වැඩි කල් ගිහිල්ලනේ. අද මේ ධීවර පවුල් අන්ත අසරණ වෙලා. එදා වේල හොයා ගන්න බැරි තරමට ම ආසරණ වෙලා. මම ඒ ගොල්ලොන්ට හැකි අයුරින් උදව් කරනවා. නමුත් සියලු දේ කරන්න හැකියාවක් නැහැ. මේ පවුල්වල අත දරුවෝ ඉන්නවා. කුඩා දරුවෝ ඉන්නවා. ඉස්කෝලෙ යන ළමයි ඉන්නවා. අඩු ගාණේ ඒ ගොල්ලන් කන්නෙ බොන්නෙ කොහොමද කියලවත් අහන්න කවුරුත් නෑ. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඉක්මන් විසඳුමක් ලබා දෙන්න කියලා.

අමරනන්ද විජේසේකර- මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment