මව් පියන් තම දරුවන්ට සෙවණැල්ලක් මෙන් ජීවත් වෙන්න

81

කොළඹ අගරදගුරු පදවි සහය මැක්ස්වෙල් සිල්වා රදගුරුතුමා මග්ගොනදී පවසයි

ජේසුතුමන්ට ශක්තියක් වූ දේව අම්මා ජේසු තුමන් සමඟ කුරුසිය දක්වාද කුරුසියෙන් පසුවද සෙවණැල්ලක් මෙන් ජේසු තුමන් සමඟ සිටිය බවත් ඔබද ඔබේ දරුවන්ව තේරුම් ගනිමින් දරුවන්ට ආදරය දක්වමින් ඔබේ දරුවන්ට සෙවණැල්ලක් මෙන් ජීවත්විය යුතු බවත් අද අපේ දරුවන් දෙස බලද්දී බොහෝ දෙනෙක් රට අතහැර යන පසුබිමක අපේ දරුවන් ජීවත් වන බවත් එබැවින් දරුවන්ට ආදරණීය මවක් හා පියෙක් ලෙසින් දරුවන් උදෙසා දිරිමත් ජීවිතයක් ගත කිරීමට අදිටන් කර ගන්නා ලෙසත් කොළඹ අගරදගුරු පදවි සහයක අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා රදගුරුතුමා මග්ගොන ජාතික කල්වාරි පුදබිමේදී ප්‍රකාශ කළහ.

රත්නපුර පදවිය අළු බදාදායින් ඇරඹුණු චතාරික සමයට මුලපුරමින් රත්නපුර පදවියේ පදවි මරිය හමුදා කියුරියාව “එන්න සමිඳුන් වෙත හැරී යමු” තේමාව පෙරදැරිව ඉකුත් දින මග්ගොන ජාතික කල්වාරි පුදබිමේදී සංවිධානය කළ යාච්ඤාවේ හා පස්චත්තාපයේ පාද නමස්කාරය අමතා එතුමා එසේ ප්‍රකාශ කළහ. මෙහිදී දිව්‍ය පූජා යාගයේදී මරිය හමුදා කියුරියාවේ වැඩිහිටි හා තරුණ සැදැහැවතුන් ඇමතූ රත්නපුර ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා සා.බෙ.නි. රදගුරුතුමා ජේසු තුමන්ගේ කුරුසියේ ගැලවීමේ කාර්ය සම්පූර්ණ කිරීම සඳහා මරියතුමියගෙන් සුවිශේෂී දායකත්වයක් හා දිරියක් ජේසු තුමන්ට ලැබුණු බවත් මරියතුමියගේ ඒ සුවිශේෂී දායකත්වය සමරමින් අපි සැම දෙනාටම ලැබී තිබෙන අපෙන් ඈත් නොවන කුරුස දරාගෙන දිරියෙන් ඉදිරියට යෑම අවශ්‍ය බවද එවිට අපේ යාච්ඤා හා කන්නලව් අසා දේව අම්මාගේ මැදිහත්කමෙන් දෙවි මහෝත්තමයාණන් වහන්සේ අපේ රටට නව ගැලවීමක් දානය කරනු විශ්වාස බවද අවධාරණය කළේය.

එළැඹී ඇති චතාරික සමය සමගින් සුපුවත අත්දකින හා සැබෑ ජීවිත වෙනසක් නිර්මාණය වන උත්ථාන වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමගින් කිතුනු පවුල, මීසම හා පදවිය තුළ සැබෑ කිතුනු දිවියක් උදෙසා ජීවිත වෙනසක් ඇතිකර ගන්නට දෙවිඳු වරම් අයදමින් පැවැති මෙම පාද නමස්කාරය, යහපත් පාපොච්චාරණය, දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය හා දිව්‍ය පූජා යාගය ඔප්පු කිරීම සඳහා රත්නපුර පදවියට අයත් කෑගල්ල, සීතාවකපුර හා රත්නපුර යන මීසම් දිසාවන්හි ක්‍රියාකාරී වැඩිහිටි හා තරුණ මරිය හමුදා කියුරියා සාමාජික සමාජිකාවන් විශාල පිරිසක් බැති සිතින් එක්ව සිටියහ.

රත්නපුර පදවි මීසම් සේවක පියතුමන් සමඟ මරිය හමුදා කියුරියා ජාතික අධ්‍යක්‍ෂ අයිවන් පෙරේරා පියතුමන් හා මග්ගොන ජාතික කල්වාරි පුදබිමේ පරිපාලක සුසිත් රන්දිල් පියතුමන් ඇතුළු පියතුමන්ද සහභාගිව සිටිය අතර නිශාන්ත රෝහාන් ප්‍රනාන්දු පියතුමන් විසින් සිංහල බසින් හා අන්තෝනි මුත්තු පියතුමන් විසින් දමිළ බසින් දේශනයන් පවත්වනු ලැබීය.

ජෝ. ඇ. සකරායස්

මව් පියන් තම දරුවන්ට සෙවණැල්ලක් මෙන් ජීවත් වෙන්න
advertistmentadvertistment
advertistmentadvertistment