2024 සහනාධාරවලට රුපියල් බිලියන 1,158ක්
පාර්ලිමේන්තුව තම වගකීම තේරුම් ගෙන කටයුතු නොකිරීම නිසාරට අන්ත අසරණ වෙලා
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්යක්ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල
පසුගියදා නිමාවට පත් වූ මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයටට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි වුණ අතර 10 වැනි පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් අතරින් අති බහුතරයක්ම නවක මන්ත්‍රීවරු වෙති. පසුගිය කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සිය යුතුකම් සහ වගකීම් නිවැරදි ආකාරයෙන් ඉටු වුණාදැයි සැක සහිතය. පාර්ලිමේන්තුව සතු මූලිකම වගකීම වන්නේ නීති සම්පාදනය කිරීමයි. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් නීතිඥවරු වෙති. ඊට අමතරව වෛද්‍ය, ගුරු, මහාචාර්ය, කථිකාචාර්ය, වැනි වෘත්තීන්වලට අයත් විශාල පිරිසක් ද සිටී. මේ කුමන වෘත්තියක අය සිටියත් මේ සෑම කෙනෙකුගේම පළමු වගකීම වන්නේ ශ්‍රී ලංකාව වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීම සඳහා මෙන්ම ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය නීති අණ පනත් සම්පාදනය කිරීමය. මෙම ලිපියෙන් අද අප සාකච්ඡා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවරෙන සහ
පසුගිය කාලයේ මන්ත්‍රීවරුන් අතින් ඉටු නොවුණු ආර්ථික කාර්යභාරය පිළිබඳවයි.
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාව පිළිබඳ සලකා බලන විට රටේ ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් පාර්ලිමේන්තුවට පැවරී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන පරිච්ඡේදයේ සඳහන් වන්නේ ‘රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම්’ පිළිබඳවයි. එහි විසි හත් වන වගන්තියේ විවිධ ස්ථානවල සඳහන් වන්නේ ලංකාවේ සමාජයන් කුමන දිශානතියන් කෙරේ යොමු කළ යුතුද යන කාරණයයි. සියලු ආයතන විසින් දේශපාලන සාධාරණත්වය ගුරුකොට ගන්නා සමාජ ක්‍රමයක් හැකිතාක් ඇතිකොට ආරක්ෂා කරදීමෙන් ජනතා සුබ සිද්ධිය වර්ධනය කිරීමත්, ප්‍රමාණවත් ආහාරපාන ඇඳුම් පැළඳුම් හා නිවාස පහසුකම් ද ජීවන තත්ත්වයෙහි නිරන්තර වර්ධනයද විවේකය හා සමාජීය හා සංස්කෘතික ඉඩ ප්‍රස්ථා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීමද ඇතුළුව …..” යනුවෙන් ආරම්භ වන ව්‍යවස්ථාවේ තවදුරටත් “ඉ” සහ “ඊ” යන කොටස් වලින්ද මෙරට ජනයාගේ ජන ජීවිතය නගා සිටුවීම සම්බන්ධයෙන් වගන්ති රාශියක් අඩංගු වේ. අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් සිය අවධානය යොමු කළ යුතුය.
ඒ අතරිනුත් වැඩි අවධානයක් යොමු කළ යුතු පරිච්ඡේදය වන්නේ 17 වැනි වගන්තියයි. එහි සඳහන් වන්නේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙනි. 148 වැනි වගන්තියේ සඳහන් වන්නේ “රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේය” යනුවෙන් සහ බදු පැනවීමේ පූර්ණ අයිතිය පිළිබඳවය. 148 වගන්තියේ සිට 153 වගන්තිය දක්වා ඒ පිළිබඳව සඳහන් වේ. ඊට අමතරව රටේ ඒකාබද්ධ අරමුදල ක්‍රියාත්මක වන ආකාරයත් ඒකාබද්ධ අරමුදලින් මුදල් ඉවත් කර ගැනීම පිළිබඳවත්, රාජ්‍ය ආදායමට බලපාන පනත් කෙටුම්පත් පිළිබඳවත් විගණකාධිපතිවරයා පිළිබඳවත් කරුණු රාශියක් එහි සඳහන් වේ.
මූල්‍ය ප්‍රතිපත්තියක් නැති රටක්
රටක සංවර්ධනයට වැදගත්ම සාධකය වන්නේ මූල්‍ය ප්‍රතිපත්තියක් පැවතීමයි. පසුගිය කාලය තුළම ස්ථාවර පැහැදිලි මූල්‍ය ප්‍රතිපත්තියක් පැවතියේ නැත. මුදල් සැපයුම, පොලී අනුපාතිකය, විනිමය අනුපාතිකය වැනි කරුණු පාලනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව මගිනි. රටක වැදගත්ම කොටස වන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියයි. මේ තුළ රජයේ ආදායම, වියදම හැසිරවීම, රාජ්‍ය ණය කළමනාකරණය යන ප්‍රධාන කරුණු තුන ඇතුළත් වේ. මෙම අංශ තුන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනු ලබන්නේ පාර්ලිමේන්තුව හරහා පමණි. නමුත් පසුගිය කාලය තුළම මෙම වගකීම නිසි අයුරින් අවබෝධ කොටගෙන ඉටුකරන ආකාරයක් දක්නට නොලැබිණි.
රාජ්‍ය ආදායම, වියදම සහ ණය සම්බන්ධයෙන් සඳහන් වන ලේඛනය වන්නේ අයවැය ලේඛනයයි. ඉදිරි වර්ෂයේ සඳහා මුදල් හැසිරවීම අයවැය ලේඛනය මගින් නිරූපණය වේ. පසුගිය වසර කිහිපයේ අයවැය පිළිබඳ සලකා බැලීමේදී පෙනී යන්නේ 2020 වසර වන විට රජයේ ආදායම් නිමානකය පැවතියේ රුපියල් බිලියන 1280 ක් වශයෙනි. එය 2021 වසර වන විට පැවතියේ රුපියල් බිලියන 2019 ක් වශයෙනි. 2022 දී රුපියල් බිලියන 2224 වශයෙනුත් 2023 දී රුපියල් බිලියන 3408 ක් වශයෙනුත් 2024 වසරේදී රුපියල් බිලියන 4107 වශයෙනුත් වාර්තා විණි.
රාජ්‍ය ආදායම බදු ආදායම හා බදු නොවන ආදායම වශයෙන් ආකාර දෙකකට ක්‍රියාත්මක වේ. මෙයින් 90% කට වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ බදු ආදායම් වශයෙනි. බුදුරජාණන් වහන්සේ බදු රැස්කිරීම සම්බන්ධයෙන් දේශනා කොට ඇත්තේ ‘බඹරකු මල නොතලා රොන් ලබාගන්නා ආකාරයට පාලකයන් ජනතාවගෙන් බදු අය කරගත යුතු බවයි. නමුත් මෙරට පාලකයන් නම් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළේ උක් දණ්ඩක් මිරිකා පැණි ලබාගන්නා ආකාරයෙනි. ජනතාවගේ බෙල්ලෙන්ම අල්ලා මිරිකා ජනතාව සතු මුළු සේසතම බදු වශයෙන් ලබාගන්නා ආකාරය දක්නට ලැබිණි.
දුර්වල මූල්‍ය කළමනාකරණය
ඒ සඳහා මූලික වශයෙන්ම බලපානු ලැබුවේ වෙන කිසිවක් නොව මූල්‍ය කළමනාකරණය පිළිබඳ විධිමත් දැනුවත්භාවයක් නොතිබීමයි. අදාළ විෂය පිළිබඳ දැනුවත්භාවය කෙසේ වෙතත් පක්ෂ නායකයන් සහ ඔවුන්ගේ හිතවතුන් කියන කියන ආකාරයට බදු පනවන මෙන්ම බදු සහන ලබාදෙන ආකාරයක් නම් පසුගිය කාලය පුරාම දක්නට ලැබිණි. අලුත් පාර්ලිමේන්තුව තුළින් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුය.
පසුගිය පාලන සමය තුළ වැඩි වශයෙන්ම බදු බර පැටවුණේ දුප්පත් ජනතාව මතය. වැඩි වශයෙන්ම පැනවුණේ වක්‍ර බදු ය. නමුත් ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්ට මැතිවරණවලට මුදල් වියදම් කිරීම නිසා සෘජු බදු පැනවීම කෙසේ වෙතත් පවතින බදු ටිකවත් අය කර ගන්නා ආකාරයක් දක්නට නොලැබිණි. බදු දැලෙන් රිංගන්නේ දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් පමණක්ම නොවේ. ඇතැම් රාජ්‍ය ආයතනවල ඉහළ නිලතල දරන පුද්ගලයන් පවා මේ ආකාරයට කටයුතු කරන අවස්ථා අනන්තවත් දක්නට ලැබිණි.
හැම වසරකම ආණ්ඩුව මහත් ඉහළින් පුරාජේරු කතා කියමින් අයවැය වාර්තා ඉදිරිපත් කළත් හැම වර්ෂයකම දක්නට ලැබුණේ ඔවුන් බලාපොරොත්තු වන ආදායමට වඩා අඩු ආදායමකි. 2021 වසරේ රජය බලාපොරොත්තු වූ ආදායම සහ සත්‍ය ආදායම අතර වෙනස රුපියල් බිලියන 560 කට ආසන්නය. 2022 වසරේ එය රුපියල් බිලියන 300 කට ආසන්නය. 2023 වසරේ සත්‍ය ආදායම හා නිමානක ආදායම අතර වෙනස රුපියල් බිලියන 570 කට ආසන්නය. මේ හේතුව නිසා සිදුවූයේ වෙන කිසිවක් නොව තව තවත් වැඩි වැඩියෙන් ණය ගැනීමට සිදුවීම පමණි.
2022 වර්ෂය වන විට අන්තර්ජාතික වෙළඳාමෙන් බදු වශයෙන් ලැබුණු ආදායම 23%කි. නමුත් එය 2024 වන විට 13% දක්වා අඩු වී තිබේ. භාණ්ඩ හා සේවා මත බදු 2022 වසර වන විට පැවතියේ 52% ක මට්ටමේය. එය 2024 වර්ෂය වන විට 58% දක්වා වර්ධනය වී තිබේ. රටේ සාමාන්‍ය ජනතාව පිළිබඳ සිතා නායකයන් තීන්දු තීරණ ගත් ආකාරය ඒ තුළින්ම පැහැදිලි වේ. ආදායම් බදු 2022 දී පැවතියේ 24% ක මට්ටමේය. එය 2024 වර්ෂය වන විට 28% දක්වා වැඩිවී තිබේ.
ජනතා විශ්වාසය පළුදු වීම
රටක බදු ආදායම ඉහළ යෑමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමයි. බදු ගෙවන ජනතාවට තමන් ගෙවන බදු මුදලට සිදු වන්නේ කුමක් ද යන්නත් එය වියදම් කරන්නේ කුමන කටයුතුවලටද යන්න පිළිබඳත් අවබෝධයක් පැවතිය යුතුය. විනිවිදභාවයක් තිබිය යුතුය. නමුත් පසුගිය කාලයේ හැම පුද්ගලයෙක්ම පැවසුවේ අපෙන් බදු ගහලා උන් සැප විඳිනවා යන්නයි. අලුත් පාර්ලිමේන්තුව මේ තත්ත්වය වෙනස් කළ යුතුම ය. ජනතා බදු මුදලින් යාන වාහන පිරිවරාගෙන ආරක්ෂකයන් පිරිවරාගෙන, දුවට පුතාට බිරිඳට පමණක් නොව ගෙදර හැදෙන බල්ලාට පවා යාන වාහන ලබාගනිමින් ගෙවූ කාමසුඛල්ලිකානු පිළිවෙත අතහැරියහොත් ජනතාව මීට වඩා බදු ගෙවීමට පෙළඹෙනු ඇත.
රාජ්‍ය නායකයන් ආදායම වැඩිකර ගැනීමට සමත් නොවුණත් වියදම නම් අසීමිත ලෙස පසුගිය කාලය තුළ වැඩිකර ඇත. එලෙස වියදම් වැඩිකර ඇත්තේ ප්‍රාග්ධන වියදම් නොව පුනරාවර්තන වියදම්ය. 2024 වසර වන විට පුනරාවර්තන වියදම් වලින් 50% කට වැඩි ප්‍රමාණයක් වැය කර ඇත්තේ පොලී ගෙවීම සඳහාය. 2024 වසරේ රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 3820කි. නමුත් පොලී ගෙවීම සඳහා අපේක්ෂිත මුදල රුපියල් බිලියන 2752කි. ඒ අනුව පුනරාවර්තන වියදම් වලින් 50කට වැඩි ප්‍රමාණයකුත් රජයේ බදු ආදායමෙන් 70% ක් පමණත් ණය පොලී ගෙවීම සඳහා වැය කිරීමට සිදුව ඇත. වෙනත් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට 6% ප්‍රමාණයකුත් සහනාධාර ක්‍රියාත්මක කිරීමට 22% මුදලකුත් වැය කිරීමට සිදුව ඇත.
වැටුප්වලටත් වඩා සහනාධාර වලට
වත්මන් රජය මුහුණ දෙන බරපතළම අභියෝගය වන්නේ ණය ගෙවීම සහ සහනාධාර සඳහා මුදල් වෙන් කිරීමයි. මේ හේතුවෙන් රට සංවර්ධනය කිරීමට සත පහක මුදලක් ඉතිරි වන්නේ නැත. 2024 වසරේ සහනාධාර වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 1158කි. පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 2651 කුත් වෙනත් භාණ්ඩ හා සේවා සඳහා රුපියල් බිලියන 341 කුත් වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 1127 ක මුදලකුත් වෙන් කරන්නට සිදුව ඇත.
එන්න එන්නම සහනාධාර සඳහා වෙන් කරන මුදල වැඩිවන ආකාරයක් දක්නට ලැබෙයි. සහනාධාර සඳහා වෙන් කරන මුදල් වැඩි කරනවා යනු රටේ දුප්පත් දුප්පත්කම වැඩි වෙනවා යන්නයි. 76 වසරක් රට පාලනය කළ නායකයන් රට පත් කර ඇත්තේ එවන් තත්ත්වයකටය. රට පාලනය කිරීමේ හොඳකම නිසා රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්වලටත් වඩා සහනාධාර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මුදල් වෙන් කරන්නට සිදුව ඇත.
රටක් සංවර්ධනය වීමට නම් රටේ යටිතල පහසුකම් දියුණු විය යුතුය. ඒ සඳහා වැය කරන මුදල් වැඩි කළ යුතුය. නමුත් මෙරට තුළ දක්නට ලැබෙන්නේ දිගින් දිගටම යටිතල පහසුකම් සහ අනාගත ආයෝජන වැඩි දියුණු කිරීම වෙනුවට ණය බර වැඩි වෙනවා පමණි. සංවර්ධන ව්‍යාපෘති සිදුකළත් ඒවා බොහෝමයක් සත පහක වැඩකට නැති ව්‍යාපෘතිය.
මේ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අධ්යක්ෂ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ මෙවන් අදහසකි.
“පැවති කිසිම පාර්ලිමේන්තුවක් වියදම් පිළිබඳව නිශ්චිත අවබෝධයකින් කටයුතු කළ ආකාරයක් දක්නට ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුළින් ජනතාව බලාපොරොත්තු වන ආදායම් හැසිරීම වියදම් හැසිරීම සිද්ධ වෙලත් නැහැ. ඒ වෙනුවට සිදු වී තිබෙන්නේ අප ණය අර්බුදයක සිරවීම පමණයි. ඒ තුළ ඒක පුද්ගල ණය, පවුල් වශයෙන් වී ඇති ණය, රටක් වශයෙන් විදේශයන්ගෙන් ලබාගෙන ඇති ණය, දේශීය වශයෙන් ලබාගත් ණය වැඩිවී තිබෙනවා. මේ පිළිබඳ වගකීම දරන්නේ පාර්ලිමේන්තුව. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තම වගකීම නිසි ලෙස ඉටුකොට නැහැ”
මේ වන විට මෙරට ණය බර ඩොලර් බිලියන 100 ඉක්මවා ගොස් ඇත. එක් පුද්ගලයෙක් ලක්ෂ 13 කට වඩා වැඩි මුදලක ණයකරුවෙක් කර ඇත. එක් පවුලක් ලක්ෂ 48 වැඩි ප්‍රමාණයකින් ණයකරුවන් කර ඇත. 10 වන පාර්ලිමේන්තුවට පත් වී ඇති මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් උපාධියක් සහිත පිරිසකි. ජාතික ජන බලවේගය ආණ්ඩුව නියෝජනය කරන බැවින් එවැනි උගත් පිරිසක් හිතුමනාපයට ණය ගැනීම හෝ නිස්කාරණේ මුදල් වියදම් කිරීමක් සිදු නොකරනු ඇත. එලෙස කටයුතු කළහොත් ඉදිරි වර්ෂ පහ තුළ රටෙහි යම් සාධනීය පියවරක් තැබිය හැකිවනු ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතක වුණු තමන්ගේ වගකීම
අප කවුරුත් දන්නා පරිදි මූල්‍ය වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවටය. අයවැය ඉදිරිපත් කිරීම ඒ අතරින් ප්‍රමුඛ වේ. අයවැය හිඟය පියවා ගන්න බැරිවුණත් යාන්තම් එම කටයුත්තනම් ඉටු කරන ලදී. දෙවනුව පසුගිය කාලයේ වැඩිපුරම කතාකළ මාතෘකාවක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ පසුගිය කාලයේ මෙරටින් හොරා කෑ මුදල් සියල්ල යළි අයකරගත යුතු බවත් ඒ සඳහා ප්‍රමාණවත් නීති නොමැති බවයි. නමුත් පාර්ලිමේන්තුවේ වගකීම නීති සම්පාදනය කිරීම බැවින් පාර්ලිමේන්තුවට තමන්ගේ වගකීම අමතකව ගොස් ඇති නිසා අලුත් මන්තීවරුවත් එම කටයුත්ත ඉටුකළ යුතුය. අභිනව පාර්ලිමේන්තුවට පත්වූ වැඩිම පිරිසක් සිටින්නේ නීතිඥවරු බැවින් එම කටයුත්ත හොඳින්ම ඉටුකළ හැකිය. එය ඔවුන්ට අත්හළ නොහැකි වගකීමකි. හොරා කෑ මුදල් ලොව කුමන රටක පැවතියත් ඒවා සොයා ගෙන මෙරටට ගෙන එන තෙක් ජනතාව බලා සිටී.
මීළඟට නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවරෙන තවත් වගකීමක් වන්නේ රාජ්‍ය ව්‍යවසාය මනා අයුරින් කළමනාකරණය කරමින් පවත්වාගෙන යෑමයි.
පසුගිය කාලය මුළුල්ලේම විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, දුම්රිය දෙපාර්තමේන්තුව, ගමනාගමන මණ්ඩලය වැනි ආයතන රාශියක් පැවතියේ පාඩු ලබන තත්ත්වයකය. නව මන්ත්‍රීවරුන් මෙවන් රාජ්‍ය ව්‍යවසාය නිරීක්ෂණය කොට එහි අඩුපාඩු පවතී නම් ඒවා හඳුනාගෙන ඊට පිළියම් යොදමින් ජනතාවට බරක් නොවන ආකාරයෙන් පවත්වාගෙන යා යුතුය.
ගම අමතක වුණු ජනතා නියෝජිතයන්
සෑම කෙනෙකුටම පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකිය. ජනතා ප්‍රශ්න කතාකිරීමට මහජන නියෝජිතයන් පත්කර යැවුවත් පසුගිය කාලයේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් තම ගම් ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ කතා කරන අවස්ථා දක්නට ලැබුණේ ඉතාමත් ස්වල්ප වශයෙනි. ඊට ප්‍රධානම හේතුව වන්නේ ඡන්දය ලබාගත් පසු බොහෝ දෙනෙක් කොළඹට වී ජොලි කිරීමය. ඔවුන් යළි ගමට ගියේ ඡන්දයක් ආසන්න වන විට පමණි. ඈත දුෂ්කර ගම් වල ජනතාවට අනන්තවත් ප්‍රශ්න පවතී. ඒ පිළිබඳ මහජන නියෝජිතයන් වශයෙන් පාර්ලිමේන්තුව තුළ කතා කර විසඳුම් ලබාදිය යුතුය.
රටක ආර්ථිකයේ වැදගත් ස්ථානයක් හිමිවන්නේ විදෙස් වෙළෙඳාම සම්බන්ධයෙනි. ඒ පිළිබඳ වසන්ත අතුකෝරල මහතා කළේ මෙවැනි ප්‍රකාශයකි.
අන්තර්ජාතික වෙළෙඳාම
මේවනවිට අපි විදෙස් රටවල් සමග විවිධ ගිවිසුම්වලට එළඹී තිබෙනවා. මේ ගිවිසුම් තුළින් වාසියක් අත්වී තිබෙන්නේ අපට වඩා අනෙක් රටවලටයි. වෙළෙඳ ගිවිසුම්වල වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුටයි. පාර්ලිමේන්තුව ඒ වගකීම හරියට තේරුම් අරගෙන ක්‍රියාත්මක කළේ නැහැ. මේ නිසයි රට අද අන්ත අසරණ තත්ත්වයකට ගමන්කොට තිබෙන්නේ.”
සමීර කන්නන්ගර