දරුණු ජලගැලීම් හේතුවෙන් 200කට අධික පිරිසක් මිය ගොස් ඇති ස්පාඤ්ඤයේ වලෙන්සියා කලාපයට වැසියන්ගේ සුවදුක් විමසීමට පෙරේදා (03දා) එහි ගොස් ඇති ෆෙලිපේ රජු හා ලෙටිසියා රැජින වෙත කෑකෝ ගසමින් බිත්තරවලින් හා මඩ වලින් දමා ගැසීමට කෝපාවිෂ්ට වූ වැසියන් පිරිසක් විසින් පියවර ගෙන තිබේ. ස්පාඤ්ඤයේ රජු වන ෆෙලිපේ රජුට හා ලෙටිසියා රැජිනට මෙසේ බිත්තර හා මඩ ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ එම දෙපල සමග ජලගැලීම්වලින් විපතට පත් වුවන්ගේ සුවදුක් විමසීම සඳහා ගොස් ඇති ස්පාඤ්ඤ අගමැති පෙඩිරෝ සැන්චෙස් හා වැලෙන්සියා කලාපයේ ආණ්ඩුකාර කාලොස් මේසන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් බව විදෙස් මාධ්‍ය පවසයි.
පුද්ගලයන් 214 දෙනෙකු පමණ මරුමුවට පත් කරමින් හා තවත් ගණනය නොකළ පිරිසක් අතුරුදන් කරමින් ස්පාඤ්ඤයේ වැලෙන්සියා කලාපයට ඉකුත් සතියේ බලපා තිබූ එරට ඉතිහාසයේ දරුණුම ජල ගැලීම සිදු වූ පසු විපතට පත් වූවන් ගලවාගැනීමේ කටයුතු මන්දගාමීව හා නිසි සම්බන්ධීකරණයක් නොමැතිව සිදු කිරීම හේතුවෙන් ස්පාඤ්ඤ අගමැතිවරයාට ජනතාවගේ විරෝධය පළ වී ඇති අතර ඔහු සමග ගමන් ගත් ෆෙලිපේ රජුට හා රැජිනටද එම විරෝධය එල්ල වී ඇති බව අනාවරණය වී තිබේ. ජනතාවගේ කෝපාවිෂ්ට ප්‍රතිචාරය හේතුවෙන් ආරක්ෂක නිලධාරීන්ගේ උපදෙස් මත ස්පාඤ්ඤ අගමැතිවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇතත් ෆෙලිපේ රජු හා ලේටිසියා රැජින දිගින් දිගටම විරෝධතා මධ්‍යයේම පාගමනින් යමින් විපතට පත් වුවන්ගේ සුව දුක් විමසා තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ