ස්වීඩනයේ වෙඩි තැබීමකින් 3ක් මරුට

147

තරුණයකු විසින් පෙරේදා (29) සවස ස්වීඩනයේ උප්සලා නගරයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ස්වීඩනයේ අගනුවර වන ස්ටොක්හෝම් නගරයට උතුරින් පිහිටි උප්සලා නගරයේ කොණ්ඩය කපන මධ්‍යස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ස්වීඩන් පොලිසිය විසින් වයස අවුරුදු 18ට අඩු අයකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරු වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු එම ස්ථානයේ සිට ස්කූටරයකින් පලා ගොස් ඇති බව වාර්තා වී තිබේ.

ස්වීඩන් පොලිසියට අනුව මෙම වෙඩි තැබීමේ සිදුවීමෙන් මියගොස් ඇති තිදෙනාම වයස අවුරුදු 15ත් 20ත් අතර වයස්වල පසු වන අතර ඉන් එක් අයකු පොලිසිය හොඳින් හඳුනයි. මෙම වෙඩි තැබීම මැර කල්ලියකට සම්බන්ධ අපරාධයක්දැයි යන්න පිළිබඳව පොලිසිය විසින් පරීක්ෂණ අරඹා තිබේ. ස්වීඩනයේ මැර කල්ලිවලට සම්බන්ධ යෞවනයන් විසින් සිදු කරනු ලබන අපරාධ ක්‍රියාවන් හි වැඩි වීමක් මෑතක සිට දක්නට ලැබෙන බව බලධාරීහු පවසති.


advertistmentadvertistment