මෙවර සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළ බවත් හොඳ සාර්ථක ප්‍රතිඵලයක් ලැබේවි යැයි සිතන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (06දා) මාධ්‍ය හමුවේ පැවසීය.
ජනාධිපතිවරයා එසේ පැවසුවේ කොළඹ, පංචිකාවත්ත, අබේසිංහාරාම විහාරස්ථානයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී පළාත් පාලන මැතිවරණයට සිය ඡන්දය භාවිත කර පිටතට පැමිණි අවස්ථාවේදීය. තවදුරටත් කතා කළ ජනාධිපතිවරයා මෙසේ ද කීය.
ලංකාවේ අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙලා තිබෙනවා. පහුගිය මහ මැතිවරණයේදීත් ජනාධිපතිවරණයේදීත් මේ රටේ ජනතාව ඉතාමත් සාමකාමීව ජයග්‍රහණය සැමරුවා. ඒක ඉතාමත්ම වැදගත්. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණ ව්‍යාපාරය තුළ පමණක් නොවෙයි මැතිවරණයෙන් පසුවත් තහවුරු කළ යුතුයි. ඒ නිසා ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී ගමන් කරපු ගමන්මඟේම මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසුවත් ජනතාව කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ නිසා ඉතා හොඳින් සාමය ආරක්ෂා වන තත්ත්වයක් මේ පළාත් පාලන මැතිවරණයෙන් පසුවත් තිබෙන බව විශ්වාසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්