‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව’ නමින් රජය විසින් පසුගියදා එළිදක්වන ලද කෙටුම්පත මේ වනවිට විවිධ පාර්ශ්වවල දැඩි විවේචනයට මෙන්ම විරෝධයට ද හේතු වී තිබේ. ඒ තුළ ඇතැම් සාධනීය යෝජනා අන්තර්ගත වුවද ඒවා යථාර්ථයක් බවට පත් කරන්නේ කෙසේ දැයි එමගින් ප්‍රමාණවත් තොරතුරු සැපයෙන්නේ නැත. ‘ඕනෑම පාසලක් ආශ්‍රිතව ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව සිසුන්ට සහතික කිරීම’ යන යෝජනාව එවැන්නකි. 1983 වසරේ දී රජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය මුළුමනින්ම නවතා දැමුණු අතර, එය යළි ආරම්භ වූයේ 2002 වර්ෂයේ දී ය. වසර 20කට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත්, තවමත් කවර මට්ටමකින් හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන් වෙන්නේ පාසල් 765ක හෙවත් සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 7.6ක පමණකි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගැනීමේ සුපිරි වරම හිමිව ඇත්තේ සමස්ත සිසු සංඛ්‍යාවෙන් සියයට 2.9කට පමණකි! මහපොළොවේ යථාර්ථය එසේ තිබිය දී යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙහි සඳහන් පරිදි ඉතිරි සිසුන් සියයට 97කට එම සුපිරි වරම හිමි කර දීමට තව සියවස් කීයක් ගත වනු ඇත්ද? මේ ලිපිය, මේ වනවිට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය පිළිබඳ යථාර්ථය විමසා බැලීමකි.

ගම්පෙරළියේ පියල්, නන්දාට ඉංග්‍රීසි ඉගැන්වීමට මහගෙදරට පැමිණියේ ඉංග්‍රීසින් රට පාලනය කළ සමයේ, 1904 දී ය. නන්දාගේ මව වන මාතර හාමිනේගේ අදහස වූයේ ඉංග්‍රීසියෙන් අත්සන් කිරීමටත් ටෙලිග්‍රෑම් එකක් කියවා ගැනීමටත් ඉංග්‍රීසි ඉගෙන ගැනීම ප්‍රමාණවත් බවය. ඒත් පියල් නන්දාට ඉංග්‍රීසි නවකතා ගෙනැවිත් දුන්නේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරගැනීමට නම් ඉංග්‍රීසි පොත්පත් කියවිය යුතු බව සඳහන් කරමිනි. අද වනවිට එයින් අවුරුදු 120ක් ගත වී ඇතත්, පියල්ගේ ඉලක්කයට කෙසේ වෙතත් මාතර හාමිනේගේ සිහිනයවත් සැබෑ කර ගැනීමට ජනගහනයේ සාතිශය බහුතරයක් සමත් වී නැත. අද වනවිට ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ අවශ්‍යතාව සිය දහස් ගුණයකින් වර්ධනය වී ඇතත්, ජාතික අධ්‍යාපන ක්‍රමය එය සපුරාලීමට ඛේදජනක ලෙස අසමත්ව තිබේ.

රජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීම මුළුමනින්ම නතර කොට වසර 20කට පසු, 2002 වර්ෂයේ සිට සීමිත පාසල් ප්‍රමාණයක විෂයයන් කිහිපයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ කෙරිණි. එයිනුත් වසර 20ක ඇවෑමෙන් ආපසු හැරී බලනවිට, එම වරප්‍රසාදය ලබාදීමට හැකිව ඇත්තේ සමස්ත පාසල් සිසුන්ගෙන් සියයට තුනකටත් අඩු ප්‍රතිශතයකට පමණකි. සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 92ක්ම සිසුන්ට එම වරප්‍රසාදය පිරිනැමීමට අසමත්ය. 2023 සැප්තැම්බර් මාසයේ සකස් කළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ “ඕනෑම පාසලක් ආශ්‍රිතව ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව සිසුන්ට සහතික කිරීම” (යොමුව 6.2) යන ගාම්භීර වැකිය කියවිය යුත්තේ මේ යථාර්ථය මත දෙපා තබා ගෙනය.

කන්නන්ගර ප්‍රතිපත්තිය

“මම මුලින්ම කියන්න ඕනෑ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීම කියන එකට වඩා ද්විභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීම කියලා හැඳින්වීමයි වඩා නිවැරදි වෙන්නේ. ද්විභාෂාවෙන් අධ්‍යාපනය ලබාදීම, නිදහස් අධ්‍යාපනයට පදනම් වූ කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිපත්තියේ සඳහන් වෙලා තිබෙනවා. 1943 දී හදපු කන්නන්ගර වාර්තාවේ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා ප්‍රාථමික අධ්‍යාපනය දරුවාගේ මව්භාෂාවෙන් ලබාදිය යුතු බවත් 6 වැනි ශ්‍රේණියේ සිට විෂයන් කීපයක් මව්භාෂාවෙනුත් විෂයන් කීපයක් ද්විභාෂාවෙනුත් ලබාදිය යුතු බව. එහි අරමුණ වුණේ දරුවකුට අවු: 14 – 15 වනවිට ද්විභාෂාවෙන් කියවීමටත් ලිවීමටත් කතා කිරීමටත් හැකියාව ලබාදීමය. කන්නන්ගර මහත්තයා මෙම අධ්‍යාපන මාධ්‍ය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කරනවිට ලෝකයේ කිසිම රටක ද්විභාෂා සංකල්පය ක්‍රියාත්මක වුණේ නැහැ. දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය මව්භාෂාවෙනුත් එතැන් සිට ද්විභාෂා මාධ්‍යයෙන් ඉගැන්වීමත් යුනෙස්කෝව පවා පිළිගත්තේ 50 දශකයේදීය. කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණාට ඒක දිගින් දිගට ම ක්‍රියාත්මක වුණේ නැහැ” යනුවෙන් ද්විභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමේ සුල මුල අනාවරණය කළේ හිටපු අධ්‍යාපන කලාප අතිරේක අධ්‍යක්ෂ ප්‍රේමවර්ධන මුහන්දිරම් ය. ඔහු අධ්‍යාපන වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

1947 දී ඉදිරිපත් වූ නිදහස් අධ්‍යාපන පනතත්, 60 දශකයේ මුල් භාගයේ සමස්ත අධ්‍යාපනය රජයේ පාලනයට නතු වීමත්, ජාතික භාෂා වන සිංහල හෝ දෙමළ ඉගැන්වීමේ මාධ්‍යයට මාරු කිරීමට ඉල්ලුම වැඩි වීමත් නිසා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාගැනීමට ප්‍රවේශ වන සිසුන් සංඛ්‍යාව වර්ෂයෙන් වර්ෂය පහතට වැටිණි. එහි ප්‍රතිඵලය වූයේ 1971 වර්ෂයේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම සඳහා ඇතුළත් වන 1 වැනි පන්තිය නවතා දැමීමයි. එතැන් සිට ක්‍රමානුකූලව පන්තියෙන් පන්තිය ඉවත් කළ අතර 1983 වර්ෂය වනවිට රජයේ සහ පෞද්ගලික පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වෙන පන්ති සම්පූර්ණයෙන්ම ඉවත් කෙරිණි.

මේ අනුව ද්විභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමේ ප්‍රතිපත්තිය 2023 දී හඳුන්වාදෙනු ලබන නව වැඩපිළිවෙළක් නොවන බව පැහැදිලි වනු ඇත. එබැවින් මේ සඳහා බලධාරින් ප්‍රශස්ති ගායනා කිරීමට හෝ ලකුණු දමා ගැනීමට අවශ්‍ය නැත. මෙහිදී සිදුවන්නේ කන්නන්ගර ප්‍රතිපත්ති මත අතීතයේ ක්‍රියාත්මක වූ 1983 වසරේ දී මුළුමනින්ම නවතා දමා වසර 20කට පමණ පසුව යළි ආරම්භ කෙරුණු, ද්විභාෂා ප්‍රතිපත්තිය වඩාත් පුළුල් කිරීමට උත්සුක වීමකි. එය කාලීන අවශ්‍යතාවක් බවට කිසිදු සැකයක් නැත.

ගුරුවරුන් බෝ කළ හැකි ද?

එහෙත් එය ක්‍රියාත්මක කිරීම එදා තරම් පහසුවෙන් කළ හැක්කක් නොවේ. ඊට හේතුව ඉංග්‍රීසි විෂය ඉගැන් වීමටවත් ප්‍රමාණවත් තරම් ගුරුවරුන් නොසිටින තත්ත්වයක් තුළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගණිතය, විද්‍යාව, ඉතිහාසය, භූගෝලය වැනි විෂයයන් ඉගැන්වීමට ගුරුවරුන් සොයාගැනීමේ දුෂ්කරතාවයි. ලංකාවේ ගුරු වෘත්තියේ නිරත 2,36,738ක පිරිස අතරින් ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් සිටින්නේ 28,030ක් තරම් සුළු පිරිසකි. ප්‍රතිශතයක් ලෙස එය 12%කි. එයින් බහුතරයක් ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරුන් වන අතර, සෙසු විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සඳහා පත්වීම් ලැබූ ගුරුවරුන් සිටින්නේ 7095ක් පමණකි. ප්‍රතිශතයක් ලෙස එය ආසන්න වශයෙන් 3%කි. එයින් 32%ක් තරම් ප්‍රතිශතයක් බස්නාහිර පළාත තුළ සේවය කරන බවද සිහිපත් කිරීම වැදගත්ය. (පාසල් සංගණන වාර්තාව- 2022 )

අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂයන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි ගුරුවරුන් 4,441දෙනකු පාසල් සඳහා අනුමත කර ඇති බවත් ඉංග්‍රීසි ගුරුවරුන් 6,500කගේ අවශ්‍යතාවක් පවතින බවත් පසුගියදා ප්‍රකාශ කළේ කැබිනට් ප්‍රකාශක, ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසිනි. ඔහු සඳහන් කළේ ඉංග්‍රීසි ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් දුන් ජනපති රනිල් වික්‍රමසිංහ ඉංග්‍රීසි ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට අමතරව විශ්‍රාමික ඉංග්‍රීසි ගුරුවරුන් 1000ක් වසර 3ක කොන්ත්‍රාත් කාලයක් සඳහා බඳවා ගැනීමට උපදෙස් දී තිබේ. මෙහි ප්‍රධාන අරමුණ වර්ෂ 2025 වනවිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනු ලබන පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වැඩි කිරීම සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 200,000ක් දක්වා වැඩි කිරීමයි. මෙම අරමුණ යහපත් බව සැබෑවකි. එහෙත් ඉංග්‍රීසි ගුරුවරුන් බොයිලර් කුකුළන් මෙන් නිර්මාණය කළ නොහැකි බව අප තේරුම් ගත යුතුය.

ඉංග්‍රිසි බැරි ඇයි?

සැමට ඉංග්‍රීසි මාධ්‍යය අධ්‍යාපනය සුරංගනා කතාවක්?

අනෙක, 3 වැනි පන්තියේ සිට පාසල් අධ්‍යාපනය අවසන් වන තුරු ඉංග්‍රීසි විෂයක් වශයෙන් ඉගැන්වෙද්දී සැලකිය යුතු පිරිසකට ඉංග්‍රීසි අවබෝධ කර ගැනීමට හැකි වුවත් කතා කිරීමට, ඉංග්‍රීසියෙන් ලිවීමට හැකියාවක් නොමැති වූයේ මන්ද යන කාරණය කෙරෙහි අප විමසිලිමත් විය යුතුය. එහි යටි අරුත ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අසමත්කම ද? ඉංග්‍රීසි ගුරුවරුන්ගේ නොහැකියාව ද? ජාතික අධ්‍යාපන කොමිසමේ වාර්තාවකට අනුව දෙවන ජාතික භාෂාව සහ සම්බන්ධක භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමේ ගැටලු කීපයකි. දෙවන ජාතික භාෂා ගුරුවරුන්ගේ හිඟයත් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳ අසතුටුදායක තත්ත්වයත් එයින් ප්‍රමුඛ වේ. තවද ද්විභාෂා අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමේ ගැටලු පිළිබඳ සඳහන් කිරීමේදී ගුරුවරුන්ගේ ඉංග්‍රීසි කුසලතා දුර්වල වීම හේතුවෙන් සිසුන්ට සංකීර්ණ සංකල්ප තේරුම් ගැනීමට අපහසු වී ඇති අතර එය දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා වර්ධනයට බාධාවක් වී ඇති බව පෙන්වා දී තිබේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂයන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සඳහා ප්‍රතිපත්ති සැකසෙන්නේ පාසල් සිසුන් වැඩි පිරිසක් අ.පො.ස. සා.පෙළ ඉංග්‍රීසි අසමත් වන මෙවන් පසුබිමකදී ය.

“අද ගුරු හිඟය උග්‍රයි. ගුරුවරුන් 10,000ක් විතර දැනට විදේශගත වෙලා ඉන්නේ. ඉංග්‍රීසි උගන්වන්න පුළුවන් අය පිටරට ගියාම මෙහේ උගන්වන්න ඉන්නේ කවුද? ඉංග්‍රීසි භාෂාව උගන්වන්න ගුරුවරුන් අඩුපාඩු වෙලා තියෙද්දී ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්නේ කවුද? ඒ ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් දෙනවාද? අද ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන ගුරුවරුන් තමතන්ගේ හැකියාව අනුව තමයි ඉගැන්වීම් කටයුතු කරන්නේ. මේ වගේ ප්‍රශ්න රාශියක් අන්තර්ගත වෙලා තිබෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියන්නේ කර්තෘවරයෙක් නැති ලියැවිල්ලකටය. ජනපති රනිල් වික්‍රමසිංහ මෙය හඳුන්වා දෙන්නේ එයාගේ වුවමනාවටය. අධ්‍යාපනය වගේ රටක අනාගතය තීරණය කරන බරපතළ දෙයක තීන්දු තීරණ ගන්න ජනපතිට අයිතිය දීලා තියෙන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ මේ වගේ තීරණ ගන්න” යනුවෙන් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

භාෂා මාධ්‍ය අනුව පාසල් සංඛ්‍යාව

භාෂා මාධ්‍යය
පාසල් සංඛ්‍යාව
ප්‍රතිශතය

සිංහල

6290

62.1%

දෙමළ

3032

29.9%

සිංහල හා ඉංග්‍රීසි

563

5.6%

දෙමළ හා ඉංග්‍රීසි

168

1.7%

සිංහල, දෙමළ,ඉංග්‍රීසි

34

0.3%

භාෂා මාධ්‍ය අනුව සිසුන් සංඛ්‍යාව

භාෂා මාධ්‍යය

සිසු සංඛ්‍යාව

ප්‍රතිශතය

සිංහල

2,900,802

73.1%

දෙමළ

955,060

24.1%

ද්විභාෂා මාධ්‍ය (සිංහල/ඉංග්‍රීසි- දෙමළ/ඉංග්‍රීසි)

113,735

2.9%

(මූලාශ්‍රය – පාසල් සංගණන වාර්තාව- 2022)

ඉහත සංඛ්‍යා ලේඛනවලට අනුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සමස්ත සිසුන් සංඛ්‍යාව 2.9%ක් තරම් අතළොස්සකි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පාසල් සංඛ්‍යාව 765කි. 2002 වර්ෂයේ සිට 2022 දක්වා වසර 20කදී ලැබූ ප්‍රගතිය මෙසේ නම් 2025 වනවිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනු ලබන පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට ප්‍රාතිහාර්යක් පෑ යුතු නොවේ ද? ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව, ඒ ප්‍රාතිහාර්යයේ ශිල්පක්‍රමය ගැන මුළුමනින් නිහඬය.

හුදෙකලා විකල්ප

“මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් භූගෝලය උගන්වලා දැන් විශ්‍රාම අරන් ඉන්නේ. මගේ ගුරු පත්වීම ඉංග්‍රීසි. 2002 වර්ෂයේ දී අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න පටන්ගත්තාම භූගෝල විද්‍යාවට ගුරුවරුන් හිටියේ නැහැ. මම උගන්වපු පාසලේ විදුහල්පති භූගෝල විද්‍යාව ඉංග්‍රීසියෙන් උගන්වන්න පුළුවන්ද කියලා මගෙන් අහපුවාම මම කැමැත්තෙන් භාර ගත්තා. මම උසස් පෙළට භූගෝල විද්‍යාව ඉගෙනගෙන තිබුණා. හැබැයි මට පොඩි චකිතයකුත් තිබුණා. ඒ නිසා මම ඉස් ඉස්සෙල්ලාම භාර ගත්තේ 6 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව. උගන්වන අතරේ මගේ දැනුම පෝෂණය කර ගත්තා. පසුව 7, 8, 9 වගේ පන්ති භාර ගත්තා. කොහොම හරි මගේ ගෝලයෝ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් භූගෝල විද්‍යාව 100%ක්ම සමත් වුණා. ඒක අගය කරලා හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මට ලියුමක් පවා දීලා තියෙනවා.” හොරණ තක්ෂිලා මහ විද්‍යාලයේ සේවය කළ විශ්‍රාමික ගුරුවරියක වන චාන්දනී එදිරිසිංහ පැවසුවාය.

2021 වර්ෂයේ ඈ විශ්‍රාම ගැනීමෙන් අනතුරුව තවමත් හොරණ අධ්‍යාපන කලාපයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් භූගෝල විද්‍යාව ඉගැන්වීමට ගුරුභවතකු නොමැති බව ඈ තවදුරටත් සඳහන් කළාය.

ගුරු හිඟය එලෙසින් වාර්තා වුවද ඉංග්‍රීසි මාධ්‍යයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගැනීමට පැමිණෙන සිසුන් පිරිස වසරක් පාසා වර්ධනය වී ඇති බව 2022 පාසල් සංගණන වාර්තාවේ දත්ත අනුව පැහැදිලි වේ.

සිසුවියකගේ අත්දැකීම

“මම 6 වැනි ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් 6කුත් සිංහල මාධ්‍යයෙන් විෂයන් 3කුත් හදාරනවා. මම සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නේ බුද්ධාගම, සිංහල සහ ඉතිහාසය. සමහර ළමයි විෂයන් 5ක් ඉගෙන ගන්නවා. සමහර ළමයි ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි කියන විෂයන් තුන විතරක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරනවා. අපේ පන්තියේ සිංහල මාධ්‍යයෙන් විෂයන් 9ම ඉගෙන ගන්න ළමයිනුත් ඉන්නවා. සමහර විෂයන්වලදි අපි පන්තියේ ඉන්නවා. සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න අය වෙන තැනකට යනවා. සමහර විෂයන්වලදි ඒ අය පන්තියේ ඉන්නවා. අපි වෙන තැනකට යනවා.” යනුවෙන් සඳහන් කළේ වත්තල ශාන්ත ආනා විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන චංචලි ජනශ්‍රැති බණ්ඩාර සිසුවියයි.

ඇගේ ප්‍රකාශයට අනුව වත්තල ශාන්ත ආනා විදුහලේ ද්විභාෂා අධ්‍යාපනය, අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛයට අනුව සිදුවන බව පැහැදිලිය. එනම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දී තිබෙන්නේ ද්විභාෂාවෙන් අධ්‍යාපනය ලබන සිසුන් වෙන් නොකර සෙසු සිසුන් සමග එකම පන්තියේ වාඩි කළ යුතු බවයි. ඔවුන් වෙන් කරනු ලැබුවහොත් එකී දරුවන් දක්ෂ පිරිසක් ලෙස සිතා දරුවන් අතර භේද ඇති වියහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

එහෙත් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව අ.පො.ස. උසස් පෙළ හැදෑරීමට යනවිට චංචලි ජනශ්‍රැති බණ්ඩාරට ගැටලුවක් මතුවන බව පෙන්වා දුන්නේ ඇගේ මව වන ආශා දයානන්දය.

“දුවට අපි කවුරුවත් බලපෑම් කළේ නැහැ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න කියලා. එයා පොඩි කාලේ ඉඳලා ම පුද්ගලික පන්තියකින් ඉංග්‍රීසි ඉගෙන ගත් නිසා එයා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන

ගන්න ආසා වුණා. 6 පන්තියේ දී දුවගේ ලකුණු ඒතරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. ඒත් පන්තියෙන් පන්තිය ඉහළ යනකොට එයාගේ ප්‍රගතියක් දකින්න ලැබුණා. හැබැයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න විෂයන් 6ට ම අපි දුවව උපකාරක පන්ති දාලා තියෙන්නේ. මොකද එයාට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ගැනීමේ ලොකු අභියෝගයක් තිබෙනවා. සාමාන්‍ය පෙළ ඉහළින් සමත් නොවුණොත් උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න වෙනත් පාසලකට යන්න බැරි වෙනවා. දුව දැන් ඉගෙන ගන්න පාසලේ උසස් පෙළ පන්ති ඉංග්‍රීසි මාධ්‍යයෙන් නැහැ. වෙන පාසලකට යන්න බැරි වුණොත් උසස් පෙළ සිංහල මාධ්‍යයෙන් තමයි ඉගෙන ගන්න වෙන්නේ.” යනුවෙන් චංචලිගේ මව වන ආශා දයානන්ද පැහැදිලි කළාය. ඈ මත්තුමගල කරුණාරත්න විදුහලේ සේවය කරන උපාධිධාරි ගුරුවරියකි.

උසස්පෙළ අභියෝගය

සැමට ඉංග්‍රීසි මාධ්‍යය අධ්‍යාපනය සුරංගනා කතාවක්?

චංචලි ජනශ්‍රැති බණ්ඩාරගේ අදහස නම් අ.පො.ස. උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව නොලැබුණහොත් පුද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී මූලික පාඨමාලාව සමත්වීමෙන් අනතුරුව උපාධිය සඳහා අධ්‍යාපනය ලැබීමයි. එහෙත් ඇගේ මවගේ වැඩි කැමැත්ත නම් දියණිය රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වනු දැකීමයි.

“මම උගන්වපු පාසලෙත් අ.පො.ස. උසස් පෙළ පන්ති ඉංග්‍රීසි මාධ්‍යයෙන් තිබුණේ නැහැ. ඒත් ඒ ළමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ ඉගෙන ගන්න ලොකු උනන්දුවක් දැක්වූයේ නැහැ. සමහරු නම් වෙනත් පාසල්වලට ගියා. වැඩිදෙනෙක් අපේ පාසලේම සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න පන්තිවලට මාරු වුණා. මොකද උසස් පෙළ විභාගයට තරගය වැඩියිනේ. විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න තිබෙන රේස් එක නිසා ඉංග්‍රීසි මාධ්‍යයට වඩා පහසුවෙන් සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා සමහරු හිතනවා. ඒ නිසා ගොඩාක් ළමයි උසස් පෙළ දි මාධ්‍ය මාරු කරනවා.” යනුවෙන් හොරණ තක්ෂිලා මහ විදුහලේ සේවය කළ විශ්‍රාමික ගුරුවරියක වන චාන්දනි එදිරිසිංහ සඳහන් කළාය. ඉංග්‍රිසි මාධ්‍ය ටියුෂන් පන්ති හිඟ වීම හා මිල අධික වීම ද බොහෝ දෙනා ඉංග්‍රිසි මාධ්‍යයෙන් උසස් පෙළට පෙනී සිටීම අධෛර්යමත් කරන හේතුවකි.

අ.පො.ස. උසස් පෙළ පන්ති ද්විභාෂා මාධ්‍යයෙන් නොතිබීමේ ගැටලුවට අමතරව 6 – 11 ශ්‍රේණි දක්වා ද්විභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමේදී ද ප්‍රායෝගික ගැටලු රාශියක් උද්ගත වී තිබෙන බව නොරහසකි. විශේෂයෙන් සම්පත්වල අසමානතාව නිසා ග්‍රාමීය ළමුන්ට ද්විභාෂාවෙන් ඉගෙනීමට ඇති අවස්ථාව අහිමි වී ඇති බව පෙනේ. ද්විභාෂා මාධ්‍යයෙන් ඉගෙනුම ලබන සිසුන්ගේ ප්‍රතිශතය ජාතික මට්ටමින් 2.9%ක් වනවිට, දිස්ත්‍රික් මට්ටමින් එහි බරපතළ විශමතාවක් පෙන්නුම් කරයි. වැඩිම සහ අඩුම ප්‍රතිශතයක් පෙන්නුම් කරන දිස්ත්‍රික්ක පහ දෙස බැලීමෙන් එය වටහාගත හැකිය.

වැඩිම
අඩුම

කොළඹ 5.2

මුලතිව් 0.2

මහනුවර 4.2

මඩකලපුව 0.4

කෑගල්ල 3.5

කිළිනොච්චි 0.5

කුරුණෑගල 3.4

ත්‍රිකුණාමලය 0.9

යාපනය 3.1

පොළොන්නරුව 1.0

විස්මිත ප්‍රතිඵලයක්

“2002 වර්ෂයේ ආරම්භ කරපු ද්විභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළේ ප්‍රතිඵල අපිට දකින්න ලැබුණේ 2007 දී. ඒ කාලේ මම ඒ ගැන සමීක්ෂණයකුත් කළා. ද්වි භාෂාවෙන් ඉගෙන ගත්ත දරුවන්ගේ ප්‍රතිඵල විශ්වාස කරන්න බැරි තරම් ඉහළ මට්ටමක තිබුණා. මම සමීක්ෂණය සඳහා තෝරාගත්තේ පත්තලගෙදර විද්‍යාලෝක විදුහල. එහි සිටියේ, 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වයෙන් සමත් වූ ළමයින් වෙනත් පාසල්වලට ගිහින් ඉතිරිවෙලා හිටපු ළමයි. ඒ පාසලේ අ.පො.ස. සාමාන්‍ය පෙළ මව්භාෂාවෙන් ගණිතය 38%ක් සමත් වනවිට ද්විභාෂාවෙන් ඉගෙනුම ලැබූ ළමයි ගණිතය 52%ක් සමත් වෙලා. මව්භාෂාවෙන් විද්‍යාව 35%ක් සමත් වනවිට ද්වි භාෂාවෙන් 61%ක් සමත් වෙලා. එයින්ම පැහැදිලි වෙනවා ද්විභාෂා මාධ්‍යයෙන් ඉගෙනුම සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් බව. ඒ දරුවන් තුළ ගොඩනැඟෙන පෞරුෂත්වය, ආත්ම විශ්වාසය ඉහළ මට්ටමකින් තියෙනවා. විශ්වවිද්‍යාලවලට ගියාමත් ද්විභාෂා මාධ්‍යයෙන් ඉගෙනගත් දරුවන්ගේ පුස්තකාල පරිශීලනය ඉතා ඉහළයි. ඔවුන් තුළ හීනමානයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ද්විභාෂා මාධ්‍යයෙන් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ අවස්ථාව පුළුල් කිරීම ඉතා හොඳ දෙයක්. හැබැයි එය සිදු කළ යුත්තේ 6 වැනි ශ්‍රේණියේ සිට මිස ප්‍රාථමික අධ්‍යාපනයේදී නොවෙයි. මව්භාෂාව පදනම් කරගත් ප්‍රාථමික අධ්‍යාපනයක් රටකට අත්‍යවශ්‍යයි. දරුවන් පුංචි කාලේ මව්භාෂාවෙන් ගැලවුණොත් රටක සංස්කෘතිය සහ නිර්මාණශීලිත්වය නැතිවෙලා යනවා. මොකද රටක සංස්කෘතිය අරගෙන යන වාහකයා වෙන්නේ මව්භාෂාව.”යනුවෙන් හිටපු අධ්‍යාපන කලාප අතිරේක අධ්‍යක්ෂ සහ අධ්‍යාපන වෘත්තියවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම් ප්‍රේමවර්ධන මුහන්දිරම් මහතා දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.

කන්නන්ගරට පිටුපෑ සාපය!

කන්නන්ගර ප්‍රතිපත්තිය විකෘති නොකළා නම් මේ වනවිට මිල කළ නොහැකි උරුමයක් අප සතු බව සඳහන් කළ ඔහු, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවකට ගුරු වෘත්තිය සකස් කිරීමේ ප්‍රතිපත්තියක් ඇතුළත් කළ යුතු බව අවධාරණය කළේය.

“දරුවන්ගේ අධ්‍යාපනය සකස් කරන්න ඉස්සෙල්ලා ඒ අධ්‍යාපන ක්‍රමයට ගැළපෙන විදිහට ගුරුවරුන් සකස් කරන්න ඕනෑ. අනිත් හැම දෙයක්ම ජාත්‍යන්තරට මට්ටමට ගෙනෙන්න කටයුතු කරනවා නම් ගුරු වෘත්තියත් ජාත්‍යනන්තර මට්ටමට රැගෙන ආ යුතුයි. පින්ලන්තය වගේ රටවල්වල ගුරුවරුන්ගේ මට්ටමට අපේ ගුරු වෘත්තියත් හදන්න පුළුවන් නම් ගොඩාක් ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනවා. හැබැයි ඒකට අවු: 5ක් විතර කාලය ගත වෙනවා. ක්ෂණික විසඳුම් හොයන්න බැහැ.”

“කන්නන්ගර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූයේ නම් නිදහසින් පසු සියලුම ගුරුවරුන් ද්විභාෂික වන්නේය” යන්න ඔහු තවදුරටත් අවධාරණය කළේ අප සියලුදෙනාගේ දෑස් විවර කරවමිනි.

හර්ෂා සුගතදාස

advertistmentadvertistment
advertistmentadvertistment