සැමියා සහ මැනේජර් රිමාන්ඩ් – ‘ටීචර් අම්මා’ සොයා කටාන පොලිසියෙන් පුළුල් විමර්ශන

1186

තරුණයකුට පා පහරක් ගැසීමෙන් ඔහුගේ දකුණු වෘෂණ කෝෂයට හානි සිදුවීම සම්බන්ධයෙන් “ටීචර් අම්මා” ලෙස තමා හඳුන්වා දෙමින් ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය අත්අඩංගුවට ගැනීමට කටාන පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

මෙම ගුරුවරිය විසින් 21 හැවිරිදි තරුණයකුට පා පහරක් ගැසීමෙන් ඔහුගේ දකුණු වෘෂණ කෝෂයට හානි සිදුවීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇති බව කටාන පොලිසියේ උසස් නිලධාරියෙක් “දිවයින”ට පැවැසීය.

එම තරුණයා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඔහු ඊයේ වනවිටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් හෙතෙම කීය.

සිද්ධියෙන් පසුව ‘ටීචර් අම්මා’ නමැත්තිය කටියල, දෙමංහන්දිය සිය නිවසින් අතුරුදන් වී ඇතැයි ද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා හා කළමනාකරු අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ප්‍රධාන සැකකාරිය වන ගයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.

තුවාල ලැබූ තරුණයා විසින් පළ කරන ලද ෆේස්බුක් සටහනක් මෙම පහරදීමට හේතු වී ඇතැයි පොලිසිය පවසයි.

මේ පිළිබඳ කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා


advertistmentadvertistment