ගුණදම් රකිමු චරිතවත් වෙමු

200

චරිතවත් ජීවිතයක් සකස් කර ගැනීම සමාජයේ හැම දෙනාගේම ආදරයට ගෞරවයට පාත්‍රවීමට හේතු වේ. ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, පොදුවේ හැම දෙනාගේම චරිතවත් බව සමාජ යහපතට ද මූලික වේ. එකී චරිතවත් බව සමස්ත සමාජයටම ලබාදෙන ආදර්ශයකි. පාසල් දරුවන්ට, තරුණ ප්‍රජාවට මෙන්ම ශිෂ්‍ය ස්වාමීන්වහන්සේට ඒ සඳහා උපකාරී වන ගුණාංග දහයක් පෙන්වා දිය හැක.

අපේ ජීවිතය ගැඩගැසීමට දක්‍ෂතා ඇති කර ගැනීම වැදගත් වේ. ‘සකෙකා’ යනුවෙන් එය ධර්මයේ සඳහන් වේ. ඉගෙනීම් කටයුතුවලදී විෂය කරුණු පිළිබඳව දැනුම ඇතිකර ගැනීමත් දක්‍ෂතාවකි. එම දක්‍ෂතා මතුකර ගැනීමට පාසලේදී ශිෂ්‍ය සමිතිය, බිත්ති පුවත්පත, සඟරාව ප්‍රයෝජනාවත් වේ. පාසලේදී පමණක් නොව නිවසේදීත් සමාජයේදීත් තමන් වෙත පැවරෙන නිවැරදි කටයුතු හොඳින් කළ හැකි නම් ඔහු දක්‍ෂයෙකි. අප හැම කෙනෙකුටම දක්‍ෂතා තිබේ. බොහෝ විට එය හඳුනා නොගැනීමෙන් ඇතැම්හු උදාසීන අදහස් ඇතිව කටයුතු කරති. දක්‍ෂතා මතුකර ගැනීමට උත්සාහය, අධිෂ්ඨානය හා කැපවීම වැනි ගුණාංගයන් ද තිබිය යුතුය. ‘ එවෙනි ගුණාන්ගයන් ්ගෙන් දක්ෂතා මතුකර ගත්විට ‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ යන කියමන ද සැබෑ කරමින් දක්‍ෂයෙකු විය හැකිය.

සෘජු ගුණය හෙවත් අවංක භාවය (උජු) කෙනෙකු පිළිබඳ විශ්වාසය ගොඩනැඟීමට වැදගත් වෙයි. අවංක පුද්ගලයාගේ වචනයත්, ක්‍රියාත් අතරෙහි වෙනසක් නැත. කළ හැකි දෙය කීමටත්, කියන දෙයම කිරීමටත් ඇද නැති පුද්ගලයා සමත් වෙයි. හෙතෙම අන්‍යයන් රැවටීමට කිසිවක් නොකරයි. එබඳු සෘජු ගුණ ඇති තැනැත්තා කිසිවෙකුටත් බිය නොවී ක්‍රියා කරයි. සමාජයෙන් චෝදනා නොලබයි. නිති පැසසුම් ලබයි. තමා තමාට අවංකවීම වැදගත් ගුණාංගයකි. සිතෙහි ඇති අදහස් සඟවාගෙන වචනයෙන් හෝ ක්‍රියාවෙන් වෙන යමක් කීම හෝ කිරීම වංචාවකි. එය අන්‍යයන් මෙන්ම තමාද රවටා ගැනීමකි. සෘජු ගුණයෙන් යුත් පුද්ගලයා තමාගේ සිත කිසිදු ලාභ අපේක්‍ෂාවක් වෙනුවෙන් අයහපතට යොමුවීමට ඉඩ නොදෙයි. එබඳු පුද්ගලයා හෘදය සාක්‍ෂියට එකඟව ක්‍රියා කරයි.

සුවච බව හෙවත් කීකරුකම ද චරිතයක් ගැඩගස්වා ගැනීමට උපකාර වන ගුණයකි. යමෙකුට අඩුපාඩුවක් පෙන්වා දීමට පහසු සහ එම පෙන්වා දුන් වරද නිවැරදි කර ගැනීම තුළ සුවච බව රඳා පවතී. සෑම කෙනෙකු අතින්ම කිසියම් ප්‍රමාදයක් සිදුවිය හැකි අවස්ථා තිබේ. එවැනි අවස්ථාවක කාරුණිකව එය පෙන්වා දෙන කෙනෙකුට ඇහුම්කන් දීමට තරම් ඉවසිලිමත්වීම යහපත් ලක්‍ෂණයකි.

මොළොක් බව හෙවත් මෘදු ගුණය කීකරු බව ඇතිවීමට බෙහෙවින් වැදගත් වේ. මෘදු ගුණය ඇති තැනැත්තා දැඩි ලෙස ක්‍රියා නොකරයි. හිතුවක්කාර ලෙස නොහැසිරෙයි. වියළි දඬුවක් නැමිය නොහැකිය. එය බිඳී යයි. එසේ මෘදු ගුණය නැති තැනැත්තා අනුවණකම් කොට පිරිහීමට පත්වෙයි. රනින් නිම කළ සියුම් කැටයම් සහිත ආභරණ කොතරම් වටී ද?. එසේ වටිනා ආභරණ තැනිය හැක්කේ රත්‍රන් මෘදු බවට පත්කිරීමෙනි. අසත්පුරුෂයන්ගේ වංචාවන්ට හසු නොවී සත්පුරුෂයන් ඉදිරියෙහි මොළොක් වී උසස් ජීවිතයක් ගොඩනගා ගැනීම උතුම් වේ.

උඩඟුනොවීම අතිමානයෙන් තොරවීම පුරුදු කළ යුතු ගුණයකි. මනස, බලය හා පවුලේ තත්ත්වය ආදී කරුණු අනුව පුද්ගලයෝ අතිමානයට පත්වෙති. එය යහපත් චරිත ලක්‍ෂණයක් නොවේ. එවැනි පුද්ගලයෝ පොදු කටයුතුවලදී අන්‍යයන්ගේ සහයෝගය නොලබති. අනතිමානී පුද්ගලයා ගුණවතුන්ගේත් නැණවතුන්ගේත් ප්‍රසාදයට පත්වෙයි. එවැනි උදාර පුද්ගලයන්ගේ ඇසුරින් ජීවිතය ආලෝකවත් කර ගැනීමට අනතිමානීව කටයුතු කරමු.

ලද දෙයින් සතුටුවීම හැඩ ගැසෙන චරිතයක තවත් ගුණයකි. අපගේ කෑම බීම, ඇඳුම් පැළඳුම්, පොත්පත් ආදිය සඳහා දෙමව්පියන්, වැඩිහිටියන්, දායකයන් විශාල මුදලක් වැය කරති. අප කුඩා අවධියේ මේ පිළිබඳ එතරම් අවබෝධයක් නොවූයෙන් තව තවත් කෙළි බඩු ආදිය ඉල්ලා දෙමාපියන්ට කරදර කළෙමු. දැන් අපි එසේ නොකරමු. ශිෂ්‍ය ජීවිතය ගත කරන, රැකියාවක් නොකරන, අපි තවමත් දෙමාපියන්ගෙන් යැපෙන්නෝ වෙමු. අපගේ අවශ්‍යතා ප්‍රමාණවත් ලෙස සපයා දුන් පසුවත් ඉන් සෑහීමකට පත් නොවීම දෙමාපියන්ට කරදරයක්, පීඩාවක් ඇති කිරීමක්. එනිසා ලද දෙයින් සතුටු නොවීම අනාගත ජීවිතය සැපවත් කර ගැනීමට ද බාධාවකි.

පහසුවෙන් පෝෂණය කළ හැකි වීම තවත් හොඳ ගුණයකි. අපගේ ජීවිතය හැඩගසා ගත යුතු වන්නේ පවුලේ ආදායමට අනුවය. විසිතුරු විලාසිතා වැනි බාහිර කටයුතු සඳහා උපයන මුදලින් වැඩි ප්‍රමාණයක් වැයවන්නේ නම් එය පෝෂණයට අපහසු තත්ත්තවයකි. එමගින් ණයකරුවකු ලෙස ජීවිතය ගෙවීමට ද සිදුවෙයි. එනිසා කාටවත් කරදරයක් නැති, පහසුවෙන් ජීවිතය ගෙන යා හැකි අයුරින් ජීවිතය සකස් කර ගත යුතුය.

චාම් ජීවිතයකට පුරුදු වීම ද හොඳ ගුණයකි. ජීවත්වීමේදී අපගේ මූලික අවශ්‍යතා අනුව කටයුතු කරමින් බාහිර වියදම් අවම කර ගැනීම ජීවිතය පහසු කරවන්නකි. ඇඳුම් – පැළඳුම් ආදිය තෝරා ගැනීම, නිවසට විසිතුරු භාණ්ඩ ගෙන ඒම වැනි කාර්යයන්හිදී අන්‍යයන් අභිබවා තරගකාරී ලෙස කටයුතු නොකළ යුතුය. එය අණුවන ක්‍රියාවකි. තමාගේ ආදායම තේරුම් ගෙන කටයුතු කිරීම මගින් චාම් ගති පැවතුම් වියදම් අඩු සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමට පුරුදු වෙමු. ඉහත ගුණාංග වලින් යුතු චරිත ලක්‍ෂණ මගින් අපිත් අපේ ජීවිත සංවර්ධනය කර ගැනීමට උනන්දු වෙමු.

සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!

ශාස්ත්‍රපති – රත්ගම සුනීත හිමි
සංස්කරණය – නිශාන්ත අමරසිංහ

[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment