මවගේ අනියම් සැමියාගේ පහර දීමෙන් හය හැවිරිදි දරුවා රෝහලේදී මිය යයි

110

මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් වූ 6 හැවිරිදි කුඩා දරුවකු ඊයේ (13) අලුයම ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගම්පහ පොලිසිය පවසයි.

ගම්පහ , පහළගම ප්‍රදේශයේ පදිංචි ඉඳුනිල් චතුරංග නැමැති කුඩා දරුවා ව මෙසේ ඝාතනය කර තිබේ. නිවසේ දී සැකකරු විසින් පහරදීම හේතුවෙන් දරුවා රෝගාතුර වී තිබේ. පහරකෑමට ලක්ව දරුවකු නිවසේ රෝගි වී සිටින බවට ගම්පහ පොලිසියේ රාත්‍රී ජංගම සංචාරක නිලධාරීන්ට ලද තොරතුරක් මත දරුවා පදිංචිව සිටි පහළගම ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එම දරුවාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරින් ඊයේ අලුයම 2.30ට පමණ කටයුතු කර තිබූ බව පොලිසිය කියයි. දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මිය ගිය දරුවා දරුවාගේ මවගේ පළමු සැමියාගේ බවත් මෙම සැකකරුට දාව මවට තවත් දරු දෙදෙනකු සිටින බවත් පොලිසිය පවසයි.

සැකකරුට ස්ථිර රැකියාවක් නොමැත. සැකකරු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එම දරුවාගේ මවගේ අනියම් සැමියා වූ සැකකරුව ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මියගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී ඊයේ (13) පැවැත්වීමට නියමිතව තිබුණි.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ, සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර යන නිලධාරීන්ගේ උපදෙස් මත ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ අධීක්ෂණයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment