සිංහල සිනමා වංශයේ අග්‍රරාජිනිය

220

මාලිනී සහ අනෝජා

ජන කලාවන්ගේ ඇසුරට අමතරව අපූර්ව ප්‍රවේශයක් වූ චිත්‍රපටය නමැති සිනමාත්මක අත්දැකීම් සමාරම්භක සිහිවටනය වූයේ රුක්මණී දේවියයි. ඇය ශ්‍රී ලාංකීය සිනමා වංශයේ ප්‍රථම තරු ගුණැති අග රැජින ලෙස කිරුළු පළඳින්නේ අතිශය සාමාන්‍ය ජනතාවගේ ආත්මීයව බැඳුණු සිනමා ලෝලීත්වයෙනි.

මෙරට සිනමා රාජධානියේ දෙවනුව අග්‍රරාජිනිය ලෙස අභිෂේක ලබන්නට චිත්‍රපට ලෝලී හදවත්වල නොමැකෙන සිහිවටන තැබූ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා නම් ඇය වාසනාවන්ත වූයේ නිරායාසයෙන්ම ජන හදමඬලේ මතුවූ වාසනා ගුණය පාදක කර ගනිමිනි.

ඒ අනුව ගත් කළ දකුණු ආසියාතික ඉන්දීය ආභාසය මිශ්‍රව ද, අපටම අනන්‍යව ද ඇති වුණු හා ගොඩනැඟූ අපූර්ව ශ්‍රී ලාංකීය සිනමාත්මක ලෝකයේ සිහින රැජින වූයේ ද මාලිනී ෆොන්සේකාය.

“මාලිනී” නම් ප්‍රතිරූපය මේ දිවයින තුළ දශක ගණනාවක් නොවෙනස්ව අභිෂේක ලැබීමට හේතු වූ කාරණා අතර සාධක කිහිපයක් ඉස්මතු වෙයි.

ඉන් ප්‍රධාන වනුයේ ඇය තෝරා ගන්නා ලද චිත්‍රපට කලා මාධ්‍යයයි. දෙවැන්න ඇය සතු දකුණු ආසියාතික පුරුෂ මූලික පමණක්ම නොව, ස්ත්‍රී ඇසින් ද ආකර්ෂණීය ලෙස ඇදබැඳගත් රූප ශෝභාවයි.

තෙවැන්න වනුයේ ඇය චිත්‍රපටය තුළින් ඉස්මතු කළ මාලිනී නම් ඇයටම පමණක් අනන්‍ය වූ රංග ශෝභාව ය. එනම් ඇයගේ රංගෝපක්‍රමයයි. රංගන ශූරතාවයයි. රිදී තිරය තුළින් ඇය මෙතරම් ඉහළ තලයකට ඔසවා තැබීමට හේතු වූ කාරණා අතර මාලිනී රංග ක්‍රමය, ප්‍රායෝගිකවත් සිද්ධාන්තිකවත් හදාල යුතු බව අවධාරණය කරමි.

ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමා කෘති සියය අතරට ගැනෙන ශ්‍රී ලාංකීය සිනමාවේ අග්‍රඵලය ලෙස සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘නිධානය’ චිත්‍රපටයේ සිනමාත්මක ජයග්‍රහණය සඳහා දායක වූයේ ගාමිණී-මාලිනී ද්විත්වයේ ප්‍රශස්ත රංග ප්‍රතිභාවය යන්න නොරහසකි. එහි ඇත්තේ ආංගික අභිනයට වඩා අභියෝගාත්මක සාත්වික අභිනයකි.

බොහෝ විට අප අත්විඳි ‘මාලිනී සිනමාත්මක රංගනය’ තුළ බාහිරාවෘත්ත රංග විලාසයන්ට වඩා අභ්‍යන්තරවෘත්තව ඉදිරිපත් කළ රංගයන් ඇයගේ සුවිශේෂ රංග විලාසයක් ලෙස හැඳින්විය හැක.

මිනිස් අභ්‍යන්තර මනෝභාවයන් ඉස්මතු කරන හැඟීම් ජනනය (Inner Feeling) ඇය විසින් ලාස්‍ය රංගනය (Inner or Method Acting) මගින් අපූර්ව අයුරින් ඉදිරිපත් කළාය.

ධර්මදාස ජයවීර, එස්. කරුණාරත්න, සුමන ආලෝක බණ්ඩාර යන කලාකරුවන් විසින් නිර්මාණය කළ ‘අකල් වැස්ස’ වේදිකා නාට්‍යයේ රඟපෑම මාලනීගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් විය. ඊට හේතු වූයේ 1965 රාජ්‍ය නාට්‍ය උළෙලේ දක්ෂතම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් ඇය පිදුම් ලබන්නේ ‘අකල් වැස්ස’ වෙනුවෙන් කළ සුවිශේෂී රංගනය නිසාය.

රංජිත් ධර්මකීර්තිගේ මළවුන්ගෙන්, එස්. කරුණාරත්නගේ හිරු අවරට ගියාදෝ, එරබදු මල් පොට්ටු පිපිලා, සුනන්ද මහේන්ද්‍රගේ සයුරෙන් ආ ළඳ, සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ බක තපස්, රංජිත් ධර්මකීර්තිගේ මහගෙදර, බී. රත්නායකගේ අමල් බිසෝ, ගුණසේන ගලප්පත්තිගේ ලියතඹරා, සෑම් පෙරේරාගේ ඉවබව නැති ලොව, ප්‍රේමකුමාර එපිටවෙලගේ නුවණ පොදිය, සුමන ආලෝක බණ්ඩාරගේ නිදිකුම්බා යන නිර්මාණ පෙළ අනාගත මහා නිළියකගේ පෙරමඟ සැකසූ පාසල් වියේ සිටි මාලිනී රඟපෑ (ප්‍රධාන චරිතය) වේදිකා නාට්‍යයන් බව අද බොහෝදෙනා නොදනී.

පසුව ඇය සිංහල සිනමාවට ප්‍රවිෂ්ට වන්නට වරම් ලබන්නේ ජෝ අබේවික්‍රම හා තිස්ස ලියනසූරිය යන ජ්‍යෙෂ්ඨ කලාකරුවන් දෙපළගේ මඟපෙන්වීම මත 1968 පෙබරවාරි 26 වැනිදා තිරගත වූ ‘පුංචි බබා’ චිත්‍රපටයේ මාලීගේ චරිතය රඟපාමිනි.

70 දශකයේ ජනකාන්ත චිත්‍රපට රැල්ල ‘සූරයා’ සංකල්පයෙන් බිහිවුණි. එහි පළමු සූරයා තැනුවේ ටයිටස් තොටවත්තයන්ය. ඔහු ඇමරිකානු කව්බෝයි (ගොපලු වීරයා) ආභාසයෙන් ලාංකේය වීරයා ‘චණ්ඩියා’ චිත්‍රපටයෙන් මැව්වේය. එහි නූතන අරුමැසිය ලෙනින් මොරායස් විසින් ගොඩනඟනු ලැබුවේ ‘හතරදෙනාම සූරයෝ’ චිත්‍රපටයෙනි. එහි සූරයෝ හතරදෙනා විවිධ සුරුකම් කරන අතර ප්‍රේම සූරයාගේ රොමෑන්තිකය වෙනුවෙන් විජය – මාලිනී එක්කොට ජනකාන්ත සිනමාවේ මිථුන රූපය පළමු වරට බිහි කළේ ද ඒ යුගයේදීමය.

විලියම් ශේක්ස්පියර්ගේ යෞවන ප්‍රේමයේ චිරන්තන සංකේතය වූ ‘රෝමියෝ සහ ජුලියට්’ බඳු යෞවන ප්‍රේම ද්වන්දය ලාංකීය සිනමාවේ බිහි කිරීමට මුල්වන්නේ ද මාලිනී

ෆොන්සේකාම ය. ලාංකේය සූරයා සංකල්පය ගාමිණී ෆොන්සේකා කේන්ද්‍ර කොටගෙන ඉස්මතු වූයේ ‘එදත් සූරයා අදත් සූරයා’ වැනි චිත්‍රපටවලිනි. මාලිනී ෆොන්සේකා ද ‘පුංචි බබා’ හි කළ චරිතයෙන්

මතුකර පෙන්වූ සංවේදී රංග භාවිතය නිධානයේ ‘අයිරින්’ තුළින් පරිපාකයට පත් කරන්නේ ඊට සමාන්තරව ජනකාන්ත සිනමාවේ ධීර ලලිත ලාස්‍ය ගුණය විචිත්‍ර කැන්වසයක සිත්තම් කරමින්ය. ඇයගේ මේ ගුණය රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක අභිනවයෙන් ප්‍රගුණ කරගත යුතු සුවිශේෂ හැකියාවකි. මාලිනී ෆොන්සේකා සිංහල සිනමාවේ සමාජ සංවේදීතාව ධී ශක්ති වාසනා ගුණයෙන්ම දිනාගෙන සිටි ප්‍රමුඛතම ශිල්පිනියයි. නිධානය රූගත කරන වකවානුවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පවා ගාමිණී – මාලනීගේ ද්වීරූපී රංග පරිචයන් ගැන පුදුම වී සිටි බව වරක් එතුමන් ප්‍රකාශ කළේය.

මාලනියගේ සියුම් සිනමා අභින ඉංගිත භාවිතයකට හොඳම උදාහරණයක් සපයන නිර්මාණයක් ලෙස ඇය විජය කුමාරතුංගයන් සමග රඟපෑ ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටය හැඳින්විය හැක.

චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් ද, අධ්‍යක්ෂණයෙන් හා නිෂ්පාදනයෙන් ද දායක වෙමින් පුරා දශක හයක් සිනමාවේ ද, වේදිකාවේ ද, රූපවාහිනියේ ද ඇය පෑ රංග පෙළහර ‘මාලනී න්‍යාය’ ලෙස හැදෑරීම සුදුසු නොවන්නට හේතුවක් අපට නොපෙනේ.

මෙරට සිනමා වංශ කතාවේ බිහි වූ විශිෂ්ටතම කාන්තා රංග පෞරුෂය මෙන්ම අන්තර් ජාතික මට්ටමින් සම්මානයට පාත්‍ර වූ මෙරට ප්‍රථම රංගන ශිල්පිනියද ඇය වෙයි.

(ඉහත ලිපිය සම්පාදනයේදී අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී කලාකරුවා විසින් 2018දී රචිත (සුරස පොතක් වන) ‘මාලනී න්‍යාය’ ග්‍රන්ථය, මහාචාර්ය පැටි්‍රක් රත්නායක මහතාගේ අදහස්, මනෝහරී හේවාවසම් ලේඛිකාව විසින් රචිත ‘මාලිනි අභිනය පෙළහර’ ග්‍රන්ථය මූලාශ්‍ර කොට ගන්නා ලදී.)

සචිත්‍ර නේරංජන ඇල්වලගේ


advertistmentadvertistment