- අදට වැඩිය හෙට හොඳයි – හෙට ප්‍රමාද වැඩියි කියමින් සිංහල සිනමාවේ ඛේදවාචකයට විසඳුම් සොයන්නට ඔබත් එක් අවධියක අරගලයක යෙදුණත් තවම ඇත්තේ ඒ ඛේදවාචකයම නොවේද?
පැහැදිලිවම ඔව්. හෙට දවසක අරුණලු ගැන සිතන්නටවත් නොහැකියි. දේශපාලනයකට හෝ ආණ්ඩුවකට සිනමාවක් සාහිත්‍ය කලාවක් ගොඩනගන්න බැහැ. නිහාල්සිංහ, තිස්ස අබේසේකර යුගවල ඉදිරි පියවර ගැනීමේ විශාල ප්‍රයත්නයක් තිබුණා. එහෙත් රාජ්‍ය සංස්ථාවකට සිනමාවේ එවැනි පෙරළියක් කළ නොහැකි බව අපි දුටුවා. අලුත් සිනමාකරුවන්ට බැංකු ණය ලබාදීමෙන් වුණේ මහජන මුදල් විනාශ වීමක්. වැඩි දෙනෙක් ගත් ණය ආපසු ගෙව්වේ නැහැ. අනෙක් සත්‍යය නම් සංවෘත ආර්ථිකයක් තුළ කාර්මික කලාවක් වූ සිනමාවට ඉදිරි ගමනක් නැහැ. බටහිර රටවල චිත්‍රපට නිෂ්පාදනය පවතින්නේ පෞද්ගලික අංශයේ මහා ව්‍යවසායකයක් විදිහට.
- සිනමා කලාවේ ගමන පවතින්නේ සිනමාවේදියා අතම නොවේද? ජනතාව ඉල්ලන දේ අපි සපයනවා කීම මිත්‍යාවක් බව ගාමිණී ෆොන්සේකා එදා පෙන්වා දුන්නා. ඔහු පැවසුවා ගැලරියේ සිටින්නේ අතමිට හිඟ රසිකයෙක් මිස රසඥතාවක් නැති ජනයා නොවන බව. ඔහු කීවේ නැටුම් ගැයුම් විනෝදය ඒ ‘අති පැරණි රසය’ විඳින අතරම ඔවුන් වෙනස් රස සාරය ඇති හොඳ කතා චිත්‍රපට ගැන ලොකු කුතුහලයකින් සිටින පිරිසක් කියලයි. පුළුල් රිදී තිරයක් ඉදිරියේ සිටින අර අහිංසක රසිකයාව මිනිසාව අමතන්නේ නැතිව චිත්‍රපට කලාවක් පවතින්න පුළුවන්ද?
වාණිජත්වයෙන් නිදහස්ව සිනමා කර්මාන්තය පවතින්නේ නැතුවා වගේම එය සිනමාකරුවන්ගේ ‘පැවැත්මේ කලාවක්’ ද වෙනවා. තරු මිනිසුන්ට වෙනත් ජීවනෝපායක් නැහැ. ඔවුන් සමාජයට ජීවිතය මවාපානවා නම් ජීවිතය ගොඩනගනවා නම් ඔවුන්ට හොඳින් ජීවත්වීමට ධන සම්පත් හිමිවිය යුතු වෙනවා. ආරක්ෂිත සිනමාව PROTECTED CINEMA යන සංකල්පයෙන් අදහස් වන්නේ සිනමාවේ පැවැත්මත් සිනමාකරුවාගේ පැවැත්මත් ආරක්ෂා වීමයි. සිනමාව උදෙසා අප කළ අරගලය බිඳ වැටීමට හේතු මා දකින්නේ ඒ තුළම සිටි ඇතැමුන්ගේ පටු මමත්වය පිල්බෙදීම තන්හාව වගේම අමානුෂිකකම් කියලයි.
- සමාජයට බලපෑමක් කරන චිත්‍රපට කලාවක් ගැන ඔබේ අදහස?
සිනමාව විශාල බලපෑම් සහගත කලාවක්. හොලිවුඩ් සිනමාව මුල් දශකවලදී ලෝකයේම සමාජවල ජීවිත පුබුදු කළා. ආස්වාදජනක කළා. හොලිවුඩ් පුරවරයට ඇතුළුවන තැන තිබුණේ ‘විශ්ව ගම්මානය’ නමයි. එහෙත් හොලිවුඩය බිඳවැටුණේ ධනේශ්වර ක්‍රමයට ගොදුරුවීමෙන්. අද එය තාක්ෂණයත් සමඟ නැගී එනවා. අපට වුවමනා සාමාන්‍ය ජනයාගේ ජීවිතවලට කතා කරන ජන සහභාගී සිනමාවක්. LUNCH BOX වැනි ඉන්දීය තෙලිඟු මලයාලම් චිත්‍රපට සමාජය මැද්දටම ගමන් කළා. අද සිනමාව වාණිජ කලාත්මක විනෝද දේශපාලන විදිහට වර්ග කිරීමක් නැහැ. අර චිත්‍රපටිය කතා කළේ මිනිසුන් තමා තුළම තනිවීම ගැනයි.
- ප්‍රොයිඩ්ගේ යල්පැනගිය ලිංගික මතවාදවලින් හිස නරක් කරගෙන සමාජ සුචරිතධර්ම පිටුදකින ජාත්‍යන්තර සම්මාන දිනූ ඇතැම් විදග්ධ සිනමාවේදීන්ගේ චිත්‍රපට සමග පොදු සමාජය නැහැ. එහෙත් ප්‍රබුද්ධ විචාරකයන් සිටිනවා. ඔවුන් එම චිත්‍රපට අධිතක්සේරුවට- අධිවිනිශ්චයට ලක් කරනවා. මෙබඳු Over analizing movies ගැන බටහිර සම්මාන ප්‍රදානවලදී ද අර්බුද මතුවී තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කෙබඳුද?
සුචරිතය බිඳ දැමීමෙන් සමාජ දේහයට ලොකු තුවාල සිදු වෙනවා. මම ආගම සුචරිතය අගයන සාමාන්‍ය මිනිසෙක්. කලාවකින් ජීවිතය සමාජය වඩාත් සාරවත් වෙන්න ඕනෑ. ඒක ඉතිහාසයේ සිටම පිළිගත් සංකල්පයක්.
- ලෝක ප්‍රකට රංගධරයකු වූ මාලන් බ්‍රැන්ඩෝගේ පුද්ගල ජීවිතය ඉතාම පිරිහුණු එකක්. බටහිර නළුවන්ගෙන් බහුතරයක් තමා සමග රඟන නිළියන් ලිංගිකව අපහරණය කරන බව නොරහසක්. ඒවගෙම බටහිර රටවල සුචරිත දහම් උසස් කොට සලකන රංගවේදීන් ද සිටිනවා. ඔවුන් හැඳින්වෙන්නේ ඉහළ ආචාරධර්මවලට අයත් අය සැටියට Actors with Moral High Ground ඔබේ දිවියත් ඒ හා සමානද?
එසේම නොවෙයි. දැඩි විනයක් හැදියාවක් ඇති පවුල් පරිසරයක මම හැදී වැඩුණේ. දෙමාපියන්ගේ ජාන උරුමයත් ලැබෙනවා. පන්සල සමග දැඩි බැඳීම් නැතත් ආගම් භාවයක් තිබෙනවා. පුද පූජා පවත්වනවා. භාවනා කිරීමක් නැහැ. රඟපෑමේදී මගේ චරිතය සමග ප්‍රතිරංගනයක් සිදුවන බව මට හැඟෙනවා. හෘදය සාක්ෂියට එකඟව ජීවත්වීම සැනසිලිදායකයි. අපේ රටේත් බොහෝ අගනා කලාකරුවන් ජීවිත දැක්මක් නැතිව අකාලයේ විනාශයට පත්වී තිබෙනවා.
- ඔබ අරවින්දගේ චරිතයට ඇතුළුවීමට මහත් කැපකිරීම් කර තිබෙනවා. TAXI DRIVER චිත්‍රපටයේ රොබට් ඩි නීරෝ වැනි රංගවේදීන් බටහිර සිනමාවේදී අභියෝගවලට මුහුණ දුන් සැටියෙන් ඔබත් දැනුමක් ලැබුවාද?
රොබට් ඩි නීරෝ ටැක්සි රියැදුරකු ලෙස වැඩ කරමින් අත්දැකීමක් ලැබුවා පමණක් නොවෙයි ඒ චරිතය රඟපෑමට විශාල පුහුණුවක යෙදුණා. ඒ තරුණ රියැදුරු චරිතයට යොවුන් ගණිකාවක් හමුවීමේදී බලවත් කම්පනයකට පත්ව ඇය ගණිකා වෘත්තියේ යොදවන මාෆියාව සමග පුද්ගල සටනක් කිරීමට මුළු ශරීරයම ආයුධ ගබඩාවක් කර ගැනීමට පුහුණු වෙනවා. අවසානයේ දී ජාවාරම්කාරයන් හත්අට දෙනාවම විවිධාකාරයෙන් මරා දමන ඔහුත් ලේ විලක් මැද නැතිවන සැටි මුළු රංගනයම මහා කැපවීමකින් දිනූ ප්‍රතිඵලයක්. ඒ වගේම ගාන්ධි චිත්‍රපටය සඳහා BEN KINGSLEY තෝරා ගනිද්දී ඉන්දියාවේ බලගතු විරෝධයක් මෙන්ම සහයකුත් ලැබුණා. ආධ්‍යාත්මික නායකයකු වූ ගාන්ධිව රඟපෑමට සුද්දෙකු නුසුදුසුය කියා ප්‍රභූ පන්තිය එරෙහි වුණා. ගාන්ධි මිනිසකු නොව මතවාදයක්ය, සාධුවරයෙක්ය යන මතයක් නැගුණා. දෝතියක් හැඳ සෙරෙප්පු දමාගෙන උඩුකය නිරුවතින් දිග ගමන් වේගයෙන් ඇවිද යන මේ පුංචි දුඹුරු මිනිසාව රඟපෑමට බෙන් කිංස්ලි කළ කැපකිරීම අති විශාලයි. ඔහු ගාන්ධිගේ දේශන, කතා ලීලාව, හඬ ස්වරය, සිනාව ඉරියව් භාෂාව’ වගේම නූල් කැටීමත් පුරුදු පුහුණු වෙමින් ඇඟ සිහින් කර ගත්තා. ගාන්ධි මා තුළ ජීවත් වෙනවා යැයි බෙන් කියා තිබෙනවා. අරවින්ද මගෙත් හද තුළ සිටිනවා. විරාගය අරගෙන සම්මාන උලෙළට ගිය ගමනේදී මැනිලා නුවරදී ඔහු හමුවන අවස්ථාවක් ලැබුණා. අරවින්දගේ ශෝකාන්තය නැරඹූ යුරෝපීය සිනමාවේදීන් ඉමහත් සහකම්පනයක් ලැබුවා. ඒ ගැන කතාබහ ඇති වුණා.
- ඔබ ශිල්පීය නළුවෙක් (METHOD ACTOR) ද? ශිල්පීය රංග ක්‍රමයකින් අරවින්දගේ ආත්ම චරිතය නිරූපණය කළ නොහැකි නිසා ඔබ ඔබේම මගක් ගත්තාද?
පැහැදිලිවම ඔව්. එය ශිල්පීය සම්ප්‍රදායකින් ආභාසයක් නොවෙයි. මා ඇතුළාන්තයෙන්ම පැමිණි එකක්. අම්මාගෙන් තාත්තාගෙන් ලැබූ හැදියාවත් අරවින්ද තුළට යන්නට මට අත්වැලක් වුණා වගෙයි. මුලදී රඟපෑමට යාම ගැන තාත්තා තුළ වැඩි සතුටක් තිබුණෙ නැහැ. ඒත් විරාගය රූගත කිරීම්වලදී තාත්තා නිතර පැමිණියා. එහිදී තමයි අරවින්ද ගැන තාත්තා තුළ භක්තියක් කම්පනයක් ඇති වුණේ. තාත්තා ඉන් අලුත් ජීවයක් ලැබුවා වගේ. මම අරවින්දට රඟපෑවේ මුළු හදවතින්මයි. මුළු සිතින්මයි. කාලෝ ෆොන්සේකා මට ළංවී ළංවී කියනවා ඔබ එය සිද්ධ කරනවා කියා.
- සමාජයට බලපෑම් සහගත සිනමාවක් බිහි කරන්න තරුණ නිර්මාණකරුවන්ගේ යොමුවීම අවශ්‍යයි නේද?
එය සිදුවිය යුතුයි. උදාහරණයක් හැටියට ඉකුත් කාලයේදී කල්ප ආරියවංශ – වින්iා ආරියවංශ දෙදෙනා සත්‍ය සිද්ධියක් ඇසුරින් රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘ප්‍රේමය නම්’ සිනමා කෘතිය ඉතා වැදගත් සමාජ හෙළිදරව්වක් කළා. ග්‍රස්ති නියුරෝසියාව නම් මානසික රෝගී තත්ත්වයක් තිබෙනවා. විෂබීජවලට අස්වාභාවික භීතිකාවක් -පවිත්‍රතාව ගැන අසාමාන්‍ය පෙළඹීමක් සිදුවන්නේ ශරීරයේ රසායනික අසමතුලිතාවක් නිසා. මේ නියුරෝසියාව සමාජයේ හතරෙන් එකකට පැවතුණත් එය හඳුනාගන්නේ සියයට 10ක් බව වාර්තා වෙනවා. තමාගේම මුත්‍රාවලට අස්වාභාවික භීතිකාවකින් පෙළෙන තරුණයකු ලෙසත් ඔහුගේ පෙම්වතිය ලෙසත් අති විශිෂ්ට රංගනයක යෙදෙන්නේ ශ්‍යාම් ප්‍රනාන්දු හා සමනලී ෆොන්සේකා. දෙදෙනා අතර ගැටුම ප්‍රේමය රැක ගන්න දරන වෑයම නිරූපණය කර ඇත්තේ කාව්‍යයක් විදිහට. ඒ විතරක් නොවේ. මේ තරුණයා මනෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින දවස්වල දී වෛi විශේෂඥවරුන් හෙදියන් හා උපස්ථායකයනුත් රෝගීන් වෙනුවෙන් මහා මානව භක්තියකින් සේවය කරන අන්දම විදහා පෙන්වනවා… නිවී යන සඳපහන දල්වන්න යළි එන්න… ගිලන් හද ආලයේ ඔසුවෙන් සුවපත් වෙන්න… ගීතය සුනිල් ආරියරත්නගේ. මේ වැනි සිනමා කෘතියක් සමාජයේ සිත්වලට ලොකු හැඩ ගැසීමක් කරනවා. විචාරකයන් මාධ්‍ය මේවා ගැන වඩාත් කතා කළ යුතු වෙනවා. නළු නිළියන් ගැන බොරු චැට් නොවෙයි.
- පුද්ගලික ප්‍රශ්නයක් අහනවා. ඔබත් අරවින්ද මෙන් හුදෙකලාවක් විඳිනවාද? හොලිවුඩ් නළුවන් තමන්ගේම මන්දිර තුළ තනි වුණා. CASTLE ඉතාලි පදයේ තේරුම කූඩුව CAGE.
මම එක්තරා හුදෙකලාවක ජීවත්වෙනවා තමයි. මට එය සැනසිලි දායකයි. රසිකයන්ගේ ආදරය ඉතාම උසස් දෙයක්. ඒ වගේම රංගවේදීන්ට සමාජය මැද්දටම යාම දුෂ්කරයි. ගෝෂාව, ප්‍රතිචාර, සම්බන්ධතා බලපෑම් විඳීමට අමාරුයි. සමීප මිතුරන් ටික දෙනෙක් සිටිනවා. ඔවුන් සමග සරල විහිලු කතාබහෙන් සතුටක් ලබනවා. මම වඩාත් ආසා කරන්නේ මට ළංව සිටින අයට ආදරය කියාදීමෙනුයි.
- ඔබ අරවින්දගේ චරිතයට පණ දුන්නත් ඔබ සමග එකඟ නොවන දිගු ප්‍රශ්නයකට යාමට ඔබ මට ඉඩ දෙනවාද?
ඕනෑම මතයකට සවන් දෙන්න මම කැමතියි.
ප්‍රශ්නය : මම මේ ප්‍රශ්නයට යන්නෙත් ඕනෑම මතයක් දැරීමට ඔබට ඇති අයිතියට ගරු කරමින්. මාර්ටින් වික්‍රමසිංහ අරවින්ද ගැන මුලදී දැක්වූ මතය වුණේ මෙයයි “…. අරවින්ද සෝවාන් උපාසකයෙක්. තෙර කෙනෙකුට ළංවන සත්පුරුෂයෙක්. ඔහු සමාජයට නොගැළපෙන පරාජිතයෙක් නොවේ.” සනත් ගුණතිලක දකින්නෙත් මෙහෙමයි… “සාමාන්‍ය මිනිසකුට සිතිය නොහැකි කළ නොහැකි අන්දමේ උදාරත්වයක්- විමුක්තියක් ඇති අරවින්දගේ ජීවිතයෙන් වැගිරෙන්නේ සදා නොමියෙන සුපුෂ්පිත මලකින් සුවඳ වැගිරෙන්නා ලෙසටය. විරාගය එදාට වඩා වටින්නේ අදටය. එය කාලය ඉක්මවා පිය සලන පක්ෂියකු මෙනි. ඒ ජාන තවමත් අපේ පරපුරේ ක්‍රියාත්මක වේ. ඔහුට අවශ්‍ය වූයේ බුද්ධි වර්ධනය කර ගැනීමය” දෙදෙනාගේම මේ අදහස්වලින් කියැවෙන්නේ පද්මාකාර ජීවිතය ගැනයි. පද්මය දියෙහි ඉපිද දියෙහි නොගෑවී සිටීම යම් අරුතක් සනාථ කිරීමට උපමාලංකාර යොදා ගැනෙනවා. එහෙත් හැම විටකම උපමාවක ඇත්තේ අර්ධ සත්‍යයක්. සංකීර්ණත්වය උපමාවලට හසුවන්නේ නැහැ. නෙලුම ජලයෙහි ඉපිද ජලයෙහි නොගෑවී සිටින බව ඇත්තයි. එහෙත් නෙලුම ජලයෙන් මිදුණොත් එය පරවී වැටෙනවා. මිනිසාට සමාජයෙහි නොගෑවී සමාජයෙහි ජීවත්විය නොහැකියි. අරවින්දගේ ජීවිතය ශෝකාන්තයක් මිස ඔහු ආධ්‍යාත්මික වීරයෙක් නොවෙයි. පරාජිතවාදයක් ඉස්මතු කිරීම ගැන එදා සමාජයෙන් විරෝධයක් ද නැගුණා. එය නවකතාවලට ද බෝවුණා. කරුමක්කාරයෝ, දෙපානොලද්දෝ, වල්මත්වී හසරක් නුදුටිම්, මළගිය ඇත්තෝ වැනි පරාජිතයන් ගැන නවකතා බිහිවුණා. අවුරුදු 9ක් ගතවෙන්නට මත්තෙන් ‘නවකතාංග හා විරාගය’ නමින් පොතක් ලියමින් මාර්ටින් වික්‍රමසිංහ අරවින්ද ගැන වෙනත් මතයක් කියන්නට වුණා. (ඔහු නිතරම පරස්පර අදහස් කියන ලේඛකයෙක්) අරවින්ද සෝවාන් තෙර කෙනෙක් අපරාජිතයෙක් කියූ කතාව වෙනුවට ඔහු පසුව කී දේ මෙයයි.
“… අරවින්ද වූ කලී ජීවශ්‍රොතසයට නොපිළිපන්, ඉන් ඉවත්වී සිටීමට ද අසමත්, ඒ දෙක මැද පිහිටි සුචරිත ලොවක ජීවත්වීමට තැත්කොට තනිකමින් අනාථයකු ලෙස මියගිය දුර්වලයෙක්” ගුණදාස අමරසේකර ද වෙනස් මතයකට පැමිණියා. “… අරවින්දට සරෝජිනී හා විවාහ වෙන්ට හැකිවී නම් ඔහු සුචරිත ලෝකයක සැරිසරා අත්තටු බිඳුණු ලිහිණියකු නොව දෙපා බිම තබා නැගී සිටින්නට හැකි මිනිසකු වනු නොඅනුමානය.” මෙයින් අදහස් වන්නේ අරවින්ද දෙපා නොලද්දකු බවය. අරවින්ද වීරයකු කිරීම තරුණ පෙළ අතරමං කිරීමක්. තරුණයාට කියා දිය යුත්තේ අත්හැරීම ගැන නොවේ. හොඳින් අල්ලා ගැනීම ඉදිරියට පැනීම ගැනයි. බැඳීම් සමග ජීවිතය ආස්වාදය කිරීම ගැනයි. භික්ෂූන්ට අයිති සඟවිනය ගිහියන්ට පැටවීම සමාජය අවුල් කිරීමක්. සිරිගුණසිංහ හෙවණැල්ලෙන් පෙන්වා දුන්නේ එයයි. සමාජයෙන් දුරස්වන භික්ෂූන් ද වෙනත් ආකාරවලින් සමාජය බදාගන්නා අවුල අද සඟ සමාජය දෙස බැලූ පමණින් පෙනී යනවා. අරවින්ද බුද්ධිමතකු ද නොවේ. යන්ත්‍ර මන්ත්‍ර අභිධර්ම ප්‍රේතවාද ඉන්ද්‍රජාල ගුප්ත මතාන්තර හිස පුරවා ගත්තෙක් මිස ඉංග්‍රීසි උගතකු ලෙස සමාජ සංවාදයට නවීන ඥානයට ළංවූවෙක් නොවේ. ඔහු නාගරිකයන් හා ඇසුර ද ප්‍රිය කළේ නැහැ. බුලත්විට කමින් පඩික්කම් පුරවමින් කිළුටු ඇඳුම් අඳිමින් ඉන්න එපා කියා අක්කා ඔහුට බැණ වැදුණු සැටියෙන් කුමන තත්ත්වයක් හෙළි වෙයිද? අතිසරලවීම මෝඩකමක්. තමාගේ රෝගයට උගතකු ලෙස වෛiවරුන් වෙත යාමටවත් ඔහු සිතුවේ නැහැ. අද එක් වෙළෙඳ දැන්වීමක මෙසේ ගැයෙනු අපට ඇසෙනවා… සසර පුරා …. ජීවිතේ … විඳින්න … නිදහසේ … මේ අද තරුණයාට අවශ්‍ය දර්ශනය නොවේද? කීර්තිමත් කවියෙකු වූ අමරකීර්ති ලියනගේ ගේ කවියක කොටසක් මෙහෙමයි.
විරුදු නුවණ සොයා සරණ
පැනවත් මිනිසුන් උරුමය
හුදෙකලාව මිය යාමද?
ජීවිතයේ කවදාවත් ඔබට මිසක අනෙකකු හට
මම නම් පෙම්කර නැත්තෙමි
එය කියන්න ඉඩ නුදුන්න
මාර්ටින් වික්‍රමසිංහට මම
එදත් අදත් නොකැමැත්තෙමි
(සරාගේ දෙවැනි ලිපිය)
- ඉතින් කියන්න සනත්. ඔබට අදත් අරවින්ද වීරයෙක්ද?
…. ඔබ කියන දේවල සත්‍යයක් තිබෙනවා. මට කියන්න ඇත්තේ මෙයයි. අරවින්ද ගැන අදත් මගේ සිතේ ඇත්තේ ගෞරවයක්. ආදරයක්. ඔහු තුළ මානුෂික වටිනාකමක් තිබෙනවා.
කිවියර පරාක්‍රම කොඩිතුවක්කු කරන ලද සාකච්ඡාවකි