ඌරුබොක්ක නඩයක් සමග සිරිපා වන්දනාවේ ගිය විල්පිට දෙදරු මවක් නල්ලතන්නියේදී ලිස්සා වැටී ජීවිතක්‍ෂයට පත්වී ඇත.
අකුරැස්ස විල්පිට, බටහිර පීල්ලගාවවත්තේ පදිංචිව සිටි 43 හැවිරිදි එම්. බී. බී. සුනීතා කුමාරි නමැති දෙදරු මව තම උපන් ගම ප්‍රදේශය වන ඌරුබොක්කේ පවුලේ ඥාතීන් ද ඇතුළත් පිරිසක් සමග වන්දනා නඩයක් සංවිධානය කර මෙම තෙදින වන්දනා ගමනට එක්වී ඇත. ඇය සමග ත්‍රිරෝද රථ රියැදුරකු වූ සිය සැමියා සහ අකුරැස්ස ගොඩපිටිය මධ්‍ය විද්‍යාලයේ හය ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු එකොළහක් වූ බාල දියණිය ද එක්වී තිබේ.
ගමනේ දෙවැනි දින එනම් මැයි හතරවෙනිදා මෙම නඩය සිරිපා කරුණා කර ඇත. පහළට කරුණා කර ජපන් සාම විහාරයට පහළින් පිහිටි ‘රතු පාලම’ නමැති ස්ථානයේදී පාලමෙන් පහළ දිය පහරට ඇද වැටී සුනීතා මහත්මිය මියගොස් ඇත. සුනීතා මහත්මිය පහළට කරුණා කිරීමේ අවසාන භාගයේදී ඇයට තම දියණියද මඟහැරී ඇත. ඒ පිළිබඳව සොයා බැලීමට තම සැමියාට පවරා තමාට කරකැවිල්ල ගතියක් ඇති නිසා නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ, ජපන් සාම විහාරයට පහළින් පිහිටි ‘රතු පාලම’ නමැති ස්ථානය අසල රැඳී සිට ඇත.
සැමියා දරුවා සොයා බස්රථය තෙක් පැමිණ ඇති අතර ඒ වන විට දියණිය ද තවත් පිරිසක් සමග බස් රථයට පැමිණ සිට ඇත. ක්ලාන්ත ගතියකින් රතු පාලම අසල රැඳී සිටි සුනීතා කුමාරි මහත්මිය එම ස්ථානයෙන් පහළ දියපහරට ඇද වැටී ඇත. බරපතළ තුවාල ලබා සිටි මෙම කාන්තාව නල්ලතන්නිය පොලිසියේ හා මාවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් කඩිනමින් නල්ලතන්නිය වෙත රැගෙන විත්, නල්ලතන්නිය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ගිලන් රථයෙන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත. නමුත් ඒ වන විටත් ඇය මියගොස් සිට ඇත. ඇයගේ අවසන් කටයුතු ඊයේ (07 දා) පස්වරුවේ අකුරැස්ස විල්පිට පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිව තිබිණි.
වජිර පූජිත ගුණවර්ධන – තෙලිජ්ජවිල