සීගිරි ගලෙන්ම ගොඩ ගත හැකි රටක් මේක !

194

සංචාරක ව්‍යාපාරය සඳහා නව ප්‍රවේශයක අවශ්‍යතාව පැවතියේ කාලයක සිටය. එය ඉටුකරගැනීම සඳහා මේ පොළවේ අවශ්‍ය තරම් සාධක තිබුණද එම ක්‍ෂේත්‍රයේ සැබෑ වෙනසක් සිදුවෙන බවක් නොපෙනිණි. “ හරියට කළොත් ගල පෙන්නල ගොඩ දාන්න පුළුවන් රටක් මේක”. ගමේ කඩපිලේ සිටින සයිමන් අයියලා රටට පැමිණෙන සුද්දො ගැන කතා කිරීමේදී කියන්නේ එහෙමය. සීගිරි ගල ගැන සඳහන් කරමින් සයිමන් අයියලා මේ නොකියා කියන කතාව කුමක්ද? සීගිරිය පවා ගෙනයා යුත්තේ නව්‍ය වෙනසක් ඔස්සේය. නමුත් ඒ අවශ්‍ය වෙනස වෙනුවට අප වැඩිපුරම දුටුවේ පසුගිය කාලයේ ආණ්ඩු වෙනස් වන වාරයක් පසා සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හමුවට ගෙනයෑමේ විවිධ තේමාපාඨ නිර්මාණය වීමය. එක් කලකදී එය “වොන්ඩර් ඔෆ් එෂියා” ය. “ස්මෝල් මිරකල්” ය. “අ ලෑන්ඩ් ලයික් නෝ අදර්” ය. “විසිට් ශ්‍රී ලංකා” ය. එසේ කලින් කලට වෙනස් වෙමින් පැවති මේ රට ලෝකය හමුවට ගෙනයෑමේ තේමා පාඨය දැන් “සෝ ශ්‍රී ලංකාය” බවට පත්වී ඇත. මේ අලුත් ඇරඹුම ගැන අනාගත වාක්‍ය පැවසීම පසෙකට තැබුවත් පසුගිය කාලය පුරා තේමාපාඨ පමණක් වෙනස් කරමින් ලෝකය හමුවට ගෙන ගිය මේ රටේ සංචාරක ව්‍යාපාරය කලාපයේ අනෙකුත් රටවලට සාපේකෂව සාධනීය වෙනසක් සිදු වී ඇත්දැයි අපි විමසිය යුතුය. මේ ගැන සොයා බැලීමේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග සම්බන්ධ ප්‍රවීණයෙක් පැවසුවේ සෑම වසරකම මේ රටට සංචාරකයන් පැමිණීමේ ප්‍රතිශතය වාර්ෂිකව සියයට පහකින් වැඩි වී ඇති බවය. එය කිසිදු ප්‍රවර්ධන වැඩසටහනක ආධාරයෙන් සිදුවන්නක් නොව නිරායාසයෙන් සිදු වූ වර්ධනයකි. මෙවැනි තත්ත්වයක් තිබියදී වත්මන් ජනාධිපතිවරයා සංචාරක ව්‍යාපරයෙන් රටට ලැබෙන විදේශ විනිමය වැඩි කිරීම අරමුණු කොටගෙන සංචාරක ව්‍යාපාරයේ නව්‍ය පැති විවර කිරීමට සැලසුමක් ඉදිරිපත් කරන්නැයි පසුගියදා ප්‍රකාශ කළේය.

දීර්ඝ කාලයක පටන් තේ, රබර්, පොල් වැනි වැවිලි බෝග අපනයෙන් විදේශ විනිමය ඉපයීම ප්‍රධාන ඉලක්කය කරගත් මේ රටේ සංචාරක ව්‍යාපාරය වැනි ක්‍ෂේත්‍රයකින් රටේ මූල්‍ය ශක්තිය වර්ධනය කරගැනීමට සිතීමම ඉතා යහපත් ප්‍රවේශයකි. නමුත් එය ඉටු කරගත හැකි වන්නේ කවර මාවත් ඔස්සේද? මෑත ඉතිහාසය දෙස පසු විපරම් කිරීමේදී මේ රටේ සංචාරක ව්‍යාපාරය ඉතා ඉහළ තැනකින් ඔසවා තැබිය හැකි ස්වර්ණමය අවස්ථාවක් අපට උදා විය. ඒ දීර්ඝ කාලයක් තිස්සේ පැවැති යුද්ධය අවසන් වීම නිසා සංචරණයට සුදුසු පරිසරයක් රට තුළ නිර්මාණය වීමය. ඒ මොහොතේ මේ රටේ සංචාරක ව්‍යාපාරය ඉහළ ආදායම් උපයන ක්‍ෂේත්‍රයක් බවට පත්කිරීම සඳහා ගත හැකි තීන්දු තීරණ ප්‍රතිපත්ති සම්පාදකයන් අතින් ගිලිහුණේ යැයි සංචාරක ක්‍ෂේත්‍රයේ ප්‍රායෝගිකව නියැළී සිටින වෘත්තිකයන්ගෙන් එල්ලවෙන විවේචනයක් ඇත. නමුත් මේ රටට සංචාරකයන් පැමිණීමේ ඉතිහාසගත වර්ධනය පෙන්නුම් කළේ යුද්ධය නිමා වීමෙන් පසුවය. එම වර්ධනය හිටි හැටියේ කඩා වැටුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය හේතුවෙනි. පසුව ඒ සමගම පැමිණි කොවිඩ් වසංගතය සංචාරක ව්‍යාපාරය අඩපණ කළේය. වසර දෙකක් තිස්සේ පැවති එම භීම සමය අවසන් කරමින් යළිත් මෙරටට සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කළේ 2022 වසරේ සිටය. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අනුව 2022 වසරේදී මෙරටට සංචාරකයන්ගේ පැමිණීම සටහන් වන්නේ 719978 ක් ලෙසය. නමුත් 2022 සාපේක්ෂව මේ වන විටත් සංචාරකයන්ගේ පැමිණීම 2022 කට වඩා ඉහළ අගයක් පෙන්නුම් කර තිබේ. සැප්තැම්බර් මුල් සතිය වන විට එම අගය 927214 කි. සංචාරකයන්ගේ පැමිණීම පුද්ගලයන් ලෙස ගණනය කළ විට මෙම අගය අනාගතය පිළිබඳ සුබ ලකුණකි. සංචාරකයන් මිලියන 1.5 ක් මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ ඉලක්කය වෙත ළඟා වීමට මෙම අගය සුබ පෙර නිමිත්තකි. නමුත් රටට පැමිණෙන සංචාරකයන්ගේ ඔළුගෙඩි ප්‍රමාණය වැඩි කර ගැනීමම සංචාරක ව්‍යාපාරයේ දියුණුව ලෙස නොසැළකිය යුතු යැයි අවධාරණය කරන පිරිසක්ද සිටිති. එම අදහස දරන්නන් අතරින් ජාතික මාර්ගෝපදේශකයෙකු ලෙස තිස් වසරක අද්දැකීම් ඇති චන්ද්‍රගුප්ත වික්‍රමසේකර මහතා පවසන්නේ මෙවැන්නකි.

සීගිරි ගලෙන්ම ගොඩ ගත හැකි රටක් මේක !
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සිනමා ගමනාන්තයක් කිරීම පිළිබඳ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව

“මම කියන්නෙ අපි වරද්දගෙන තියෙන්නෙ. 2010 වසර වෙනකන් අපේ සංචාරක ව්‍යාපාරය කරගෙන ආවේ මේ රටේ යුද්ධයක් තියෙද්දි. 2010 පස්සෙ තමයි අපි වරද්ද ගත්තෙ. එදා යුද්ධය ඉවරවෙලා රට හොඳ තත්ත්වයකට එද්දි දේශපාලන අධිකාරිය හොඳ තීරණයක් ගන්නවා සංචාරක ව්‍යාපාරය ඉක්මනින් දියුණු කරල ඒ ප්‍රතිලාභ රටට ගන්න. එතනදි උපදේශන මණ්ඩලයක් පත්වෙනවා ප්‍රතිපත්ති තීන්දු ගන්න. අන්න එතනදි කෑදර අදහසක් ගෙනාවා අපි පුළුවන් තරම් සුද්දො රටට ගෙන්නගමු කියල. හැබැයි ලංකාව කියන පොඩි දූපතේ සංචාරක ව්‍යාපාරය ඉහළින් තියන්න සුද්දො ගොඩක් ගේන්න ඕන නෑ. වියදම් කිරීමේ ඉහළ හැකියාවක් ඇති සුද්දො පොඩ්ඩක් ගෙනාවම ඇති. සුද්දො පොඩ්ඩක් ගෙන්වලා කොලිටිය වැඩි කරල දියුණු කරන්න පුළුවන්කම තිබුණු තැනක් මේ රට. එහෙම නොකර ඔළුගෙඩි ගාණ විතරක් වැඩි කරන්න ගත්ත එකෙන් සිදුවුණේ කොහුමෝල කරන් හිටපු කෙනයි හාල් මෝල කරන් හිටපු කෙනයි හෝටල් දාල මේකෙ තිබුණ තත්ත්වය පල්ලෙහාට බැස්ස එක. රට තුළ වියදමක් කරන්න බැරි දැන් ඒවට හරියන විදේශිකයෝ තමා එන්නෙ.”

චන්ද්‍රගුප්ත මහතා වැනි අයගේ අදහස වී තිබෙන්නේ භූතානය, නේපාලය වැනි රටවලට සංචාරකයන් ගෙන්වා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවටත් අවශ්‍ය බවය. සංචාරකයන් සඳහා එම රටවලින් වීසා නිකුත් කරන්නේ එරටේදී වියදම් කළ යුතු අවම අගය වියදම් කළ හැකි විදේශිකයන්ට පමණය. මේ නිසා සංචාරක ව්‍යාපාරයෙන් ඉහළ විදේශ විනිමයක් උපයා ගැනීමට එම රටවල් සමත්ය.

සීගිරි ගලෙන්ම ගොඩ ගත හැකි රටක් මේක !

කෙසේ නමුත් මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී එකී අදහසට වඩා වෙනස් අදහස්ද තිබේ. මෙරට ප්‍රධාන පෙළේ සංචාරකයන් ගෙන්වන ආයතනවලට පහසුකම් සපයන සී. ඒ. ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ චානක ද සිල්වා මහතා විසි වසරකට ආසන්න කාලයක සිට සංචාරක ක්‍ෂේත්‍රයේ අද්දැකීම් ඇත්තෙකි. ඔහුට අනුව මේ කර්මාන්තය දියුණු කළ හැක්කේ රටට පැමිණෙන විදේශිකයෙකුට ලෝකයේ අනෙකුත් රටවලට වඩා කැපී පෙනෙන සේවාවක් ලබාදීමට ක්‍ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනා කරන කැප කිරීම තුළිනි. එය ඔහු මෙසේ පැහැදිලි කරයි.

“දැන් වත් අපි දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තියක් මත ක්‍රියා කළයුතුයි කියන එකයි මගේ අදහස. අඩුම ගානේ වසර දහයක් ඉලක්ක කරගෙන අපි ජාතික ප්‍රතිපත්තියක් මත ඉඳගෙන වැඩ කරන්න ඕන. එතනදි වැදගත්ම දේ තමයි සංචාරක ක්‍ෂේත්‍රයේ නියැළී ඉන්න පහළම සාමාජිකයාගේ ඉඳන් ඉහළම වෘත්තීයවේදීන්ගේ අද්දැකීම් අදහස් අනුව මේ සැලසුම හදන්න ඕන. අලුත් ප්‍රඩක්ට් එකක් අපි දෙන්න ඕන. උදාහරණයක් විදියට දේශීය හෙළ වෙදකම, නිල වේදකම අපිට ලෝකයට ගෙනියන්න පුළුවන්. ඒ මොනව කරත් හරි විදියට කිරීමයි සාර්ථකත්වය වෙන්නෙ. දැන් මාලදිවයිනට තියෙන්නෙ මුහුද විතරක් වුණාට ඔවුන් එයින් උපරිමය ගන්නවා. මේ වෙනකොට ඉතා ඉහළ මිල ගණන් යටතේ වුණත් ඔවුන් හෝටල් කාමර ලබන වසර වෙනකන්ම සංචාරකයන් වෙන් කරගෙන අවසන්. අනෙක් වැදගත්ම දේ තමයි ටුවර් ගයිඩ්ගෙ රියැදුරුගේ ඉඳන් හෝටල් සේවකයන් දක්වා අපි සංචාරකයෙකුට ලබා දෙන සර්විස් එක. එයාර්පෝට් එකෙන් ගන්න තැන ඉඳල නැවත රටන් පිට වෙනකන්ම මේ ක්‍ෂේත්‍රයේ සෑම කෙනෙක්ම ලබා දෙන සේවාව ඉහළ වෘත්තීය මට්ටමකට ගේන්න ඕන. එතකොට තමයි සංචාරකයන්ගේ මාර්ගයෙන්ම අපේ රටට තවත් සංචාරකයෙකු පැමිණෙන විදියට ප්‍රචාරණයක් සිදුවෙන්නෙ. ඒ ප්‍රචාරණය අනික් ප්‍රවර්ධන වැඩ තරමටම බලවත්.” යැයි චානක මහතා සඳහන් කරන්නේය.

මේ සියලු අදහස් සහ යෝජනා අතර වර්තමානයේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයද වෙනත් මානයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහළට ගෙන ඒමට පිඹුරුපත් සකසමින් තිබේ. අනාගත ඵලාදායි වැඩසටහනක් ලෙස ඉඟි පළකරන එම ක්‍රියාවලිය පිළිබඳ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා පසුගියදා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මෙසේ හෙළිදරව් කළේය.

“ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ සිනමා ගමනාන්තයක් ලෙස ලෝකය හමුවට ගෙන යෑමට කටයුතු කරන් යනවා. ඒක සංචාරක කර්මාන්තය අතින් ගත්තම නව ප්‍රවේශයක්. පසුගිය කාලයේ ආරම්භ කරපු මේ වැඩසටහන වර්තමානයේදී සක්‍රීයව සිදුකෙරෙනවා. එහිදී අපි වැඩි අවධානයක් යොමු කළේ අපේ අසල්වැසියා වන ඉන්දියාවට. ඒත් එක්කම එංගලන්තයේ සිනමා නිෂ්පාදන ආයතන කෙරෙහිත් අපේ අවධානය යොමු වුණා. මේ වසරෙදි එම ව්‍යාපෘතිය යටතේ ඉන්දියාවේ චිත්‍රපට නිෂ්පාදනය කරන සුප්‍රකට සමාගම් කිහිපයක්ම සිනමා දර්ශනතල නිරීක්ෂණය කිරීම සඳහා සංචාරයක නිරත වුණා. මේ සෑම නිෂ්පාදන ආයතනයක්ම ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සිනමා නිර්මාණ නිෂ්පාදන ආයතන. මේ සෑම සමාගමක්ම චිත්‍රපටයක් සඳහා ඉන්දියානු රුපියල් කෝටි දහයෙ ඉඳල කෝටි විස්ස විසිපහ වගේ වියදම් දරන නිෂ්පාදන සමාගම්. අපේ අරමුණ වසරකට චිත්‍රපට දෙදහසක් පමණ නිෂ්පාදනය වන ඉන්දියාවේ චිත්‍රපට ලංකාවේ දර්ශන තල ආශ්‍රයෙන් සිදුකිරීමට දිරි ගැන්වීම. ඒ හරහා වැඩි වශයෙන් ඉන්දියානු සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීමයි අපේ බලාපොරොත්තුව. මොකද සිනමාව කියන්නෙ ඉන්දියානුවන් වැඩියෙන්ම ප්‍රියතාවක් දක්වන ක්‍ෂේත්‍රයක්. ලංකාවේ ලොකේෂන් ඉන්දියානුවන් අතර ජනප්‍රියවෙන තරමට අපිට පුළුවන් එක් පැත්තකින් ලංකාව පිළිබඳ සංචාරක ආකර්ෂණය වැඩි කරගන්න. අනෙක් පැත්තෙන් විශාල විදේශ විනිමයක් මේ ප්‍රඩක්ෂන් වලින් ලැබෙනවා. ප්‍රධාන නළු නිළියන් හැර කාර්මික ශිල්පියාගේ ඉඳල විශාල පිරිසකට ආදායම් උපයාගත හැකි රැකියා අවස්ථා ලැබෙනවා. අපි දැන් බලන්නේ සංචාරක ව්‍යාපාරය පැත්තෙන් ඒ වගේ අලුත් පැති විවර කරමින් අපේක්ෂිත ඉලක්ක කරා යන්න” යැයි සභාපතිවරයා අවධාරණය කරන්නේය.

ඇත්තෙන්ම එය සංචාරක ක්‍ෂේත්‍රයේ නව නැඹුරුවක් සේ දිස්වේ. සංචාරක ව්‍යාපාරය මේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ යා හැකි ප්‍රධානතම ව්‍යාපාරය බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. “සීගිරි ගල පෙන්නල මේ රට හදන්න පුළුවන්” යැයි කඩ පිලේ සිටින සයිමන් අයියලා පවා කියන්නේ ඔවුන්ට පවා එය දැනෙන නිසාය. ඉඳින් ජනාධිපතිවරයාට සැබෑ ලෙසම මේ රට සංචාරක ව්‍යාපාරය ආශ්‍රයෙන් දියුණු කිරීමට අවැසි නම් සංචාරක ක්‍ෂේත්‍රයේ නියැළි බිම් මට්ටමේ මිනිසුන්ගේද අදහස් ඇතිව ආණ්ඩු මාරුවේදී මාරු නොවන වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතුව තිබේ.

තිස්ස ගුණතිලක


advertistmentadvertistment