නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වූ සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක ඇමැති අනුර කුමාර දිසානායක සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් අප්‍රේල් මස 8 වැනිදා සිය පක්ෂයේ සංවිධාන කටයුතුවලට සහභාගි වෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තමන් මඩකලපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති සුබ්‍රමණියම් රවින්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින බව දැන ගන්නට ඇතැයි සඳහන් කළ පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ තමාට නිදාගැනීමට හෝ ප්‍රමාණවත් පහසුකම් නොමැති බව ද මෙම පෙත්සමේ සඳහන් කර තිබේ.
ඒ. ජේ. ඒ. අබේනායක