ලක්ෂ දෙකක වන්දි ගෙවන්නත් වෙයි
සෙත් ශාන්තියක් කරන මුවාවෙන් වයස අවුරුදු එකොළහක දැරියකට අතවර කළ බව කියන යකැදුරෙකුට අවුරුදු දාහතරක බරපතළ සිර දඬුවමක් සහ වින්දිත දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට බළපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (15 දා) නියම කළේය.
මෙසේ දඬුවම් ලැබුවේ ගිනිගත්හේනේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ පද්මසිරි රත්නායක නමැති අයෙකි.
තොවිල් සහ සෙත් ශාන්ති කරන අයෙකු වන මොහු ගිනිගත්හේනේ සිට ඇල්පිටිය අටකොහොට ප්‍රදේශයට පැමිණ කුලියට ගත් නිවෙසක පදිංචි වී සිට ඇත. ඒ අතරතුර දී නිවසකට තොවිලයක් කිරීමට 2014 වසරේ දී ගිය මොහු රාත්‍රියේ ගැහැනු අය පමණක් ගෙයි එළියේ පේළියකට ඉන්නා ලෙසටත්, ගෙයි විදුලි පහන් නිවා දමන්නට ඉල්ලා කාල පන්දමක් දල්වාගෙන සෙත් ශාන්ති කර තිබේ. ඒ අතරවාරයේ දී අනෙක් අයට නොදැනෙන ලෙස මෙම දැරියට අතවර කර තිබේ. නඩුව විභාගවන අතරතුර දී අධිකරණය මඟහරිමින් සිටි මොහු 2023 වසරේදී ගලේවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නඩුව විභාග වී අවසන් වන තුරුම රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි. චෝදනා දෙකක් යටතේ දඬුවම් පමුණුවූ අතර එක චෝදනාවකට අවුරුදු හත බැගින් අවුරුදු දාහතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ද, රුපියල් දස දහස බැගින් රුපියල් විසිදහසක දඩ මුදලක්ද නියම කළේය. එය නොගෙවන්නේනම් මාස හය බැගින් අවුරුද්දක සිරදඬුවමක් ද නියම කළ අතර වින්දිත දැරියට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙවන ලෙසත් නියම කළේය.
බළපිටිය – අනුර යසමිත්