කැකුළාවල ගුරුවරයා වගේම සරච්චන්ද්‍ර, වික්‍රමසිංහ, පරණවිතානත් මා ඔසවා තැබුවා

163

සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර කියයි

හැත්තෑව දශකයේ පමණ සිට මෙරට සාහිත්‍ය හා රංග කලා විෂයයෙහි නිර්මාණයෙන් හා විචාරයෙන් දායකවුණ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මෙවර ‘මගේ ගුරු තරුව’ හැඩගන්වයි. එදා ‘දෙඤ්ඤං බැටේ’ විචාරයේ මුල්තැන්හි සිටි විද්වතුන් දෙදෙනා මහාචාර්ය සුචරිත ගම්ලත් හා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ය. යොවුනන්ගේ නිර්මාණ මෙන්ම විදග්ධයනගේ පොතපත ද නිර්දය ලෙස විවේචනයට හසුකළත් එහි සාධනීය ලක්‍ෂණ මතු කොට නිර්මාණකරුවා හා නිර්මාණය දිරිගැන්වීමක් ඉන් සිදුවිය. අවාසනාවකට අද එවන් විචාර කලාවක් අපට නැත. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ උස් පුටුවකට සිර කළ මේ වියතාගෙන් අද වැඩ ගන්නේ අඩුවෙනි. එවන් වූ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර එදා හැදූ ‘පොකුරු වැස්ස’, ‘සොක්‍රටීස්’ වැනි නාට්‍ය සම්භාව්‍ය රසිකයාගේ සිතේ තවමත් තැන්පත්ව හිඳී. සුනන්ද මහේන්ද්‍ර හෙවත් ඇත්ත, කෙළින් කතාව, ගුරුකොට ගත් අපේ කාලයේ ‘සාහිත්‍යය සොක්‍රටීස්’ දැන් මා අබිමුව හිඳී.

● නියම් ගුරු අනියම් ගුරු

මට නියම් ගුරුවරු හා අනියම් ගුරුවරු කියලා කොට්ඨාස දෙකක් ඉන්නවා. ආනන්ද විද්‍යාලයේ සුමනලාල් කැකුළාවල මහතා මගේ නියම් ගුරුවරයා. අනියම් ගුරුවරු පිළිවෙළින් කිව්වොත් පස් දෙනයි. මහාචාර් සෙනරත් පරණවිතාන, මුනිදාස කුමාරතුංග, මාර්ටින් වික්‍රමසිංහ, ආනන්ද කුමාරස්වාමි, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර. ඒ වගේම මා ගොඩනැඟූ ආයතන 5 ක් තියෙනවා.

පළමුවැන්න කොළඹ ආනන්ද විද්‍යාලයයි. දෙවැන්න ගුවන් විදුලි සංස්ථාව. තෙවැන්න ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, සිවුවැන්න පුවත්පත් කාර්යාලය හා රංග කලා ආයතන, පස්වැන්න එතෙර මෙතර සංචාර.

● රේඩියෝ සර්කිට් හදපු කොල්ලා

කැකුළාවල ගුරුවරයා වගේම සරච්චන්ද්‍ර, වික්‍රමසිංහ, පරණවිතානත් මා ඔසවා තැබුවා

මම මුලින්ම ආනන්ද විද්‍යාලයේ ‘රේඩියෝ ක්ලබ්’ එකේ සර්කිට් හද හදා හිටියෙ. ඒකට මං දක්‍ෂයි. කීර්තිසිංහ මහත්මයා මට දවසක් කියනවා “රේඩියෝ හද හදා ඉඳලම වැඩක් නෑ. ගිහිල්ලා ගුවන් විදුලිය පැත්තෙ රවුමක් ගහලා එනවා” කියලා. සුමනලාල් කුකුළාවල ගුරුතුමා මට ‘උදාව’ කියන සඟරවේ ලිපි ලියන්න ඇරයුම් කළා. එස්. පී. පෙරේරා මහත්මයාගේ ‘පාඨකයා’ සඟරාවත් මට අවස්ථාව දුන්නා. මං භාරතීය උපදේශ කතා ලියන්න හිතුවා. හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ ටිං සෝල්ජර් (TIN SOLDIER) පරිවර්තනය කරලා ලියුවාම පුදුමාකාර ප්‍රතිචාරයක් ආවා.

● රසායන විද්‍යාව අත්හැරියා

මං රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදිය කරමින් හෙම්බන්තව හිටියෙ. මං මුලින් කළේ විද්‍යා විෂයයන්. ඒකෙන් මං අසමත්. කැකුළාවල ගුරුතුමා තමයි මට කීවේ ඕක හරියන්නේ නෑ. සුනන්ද වෙනත් විෂය ධාරාවක් කරන්න කියලා. මං පාලි, සංස්කෘත, ආණ්ඩුක්‍රම (ප්‍රජාචාරය) සිංහල පැත්තට ගියේ ඒ අනුවයි. කීර්තිසිංහ මහත්මයා හමුවුනොත් අහන්නෙ ගුවන් විදුලියේ කාර්මික අංශය දැක්ක ද? කියලා. මං ඒ නිසාම දවසක් සරච්චන්ද්‍ර මහත්මයා එන දවසක් අල්ලලා ගුවන් විදුලියට ගියා. ඒ කාලෙම තමයි කරුණාරත්න අබේසේකර ‘සරස්වතී මණ්ඩපය’ කරන්නෙත්. එදිරිවීර සරච්චන්ද්‍ර ගුරුතුමා ‘ඈ නුවන් ලැබුවා’ කියන නාට්‍ය හදමින් හිටියෙ. මට මේවා ඉතාම චමත්කාර අත්දැකීම් වුණා.

ශ්‍යාමන් ජයසිංහ මනමේ පොතේ ගුරු එක්කත් මා ටිකක් කතා කළා. එඩ්මන්ඩ් විජේසිංහ, ටි්‍රලීෂියා ඇවිත් හිටියා. සරච්චන්ද්‍ර මහත්මයා ආනන්ද විද්‍යාලයේ කොල්ලෙක් ඇවිත් මේවා කරන හැටි බලන ආකාරය ගැන සතුටු වුණා. එතුමාත් මා දිරිගැන්වුවා. මං ගුවන් විදුලි නාට්‍ය තැටිගත කරන හැටිත් ටික ටික බලාගත්තා. ආනන්දෙ ‘රේඩියෝ ක්ලබ්’ එකේ හිටි නිසා ඒවා අල්ලා ගන්න අමාරුවුණෙත් නෑ.

● පාක්‍ය ලක්‍ෂ්මි එකෙන් තෝස

තිලක් රත්නකාර මහත්මයාගෙන් ආණ්ඩුක්‍රම හදාරලා මාගම් තෙන්නකෝන් මහත්මයාගෙන් සිංහල ඉගෙන ගෙන, කැකුළාවල ගුරුතුමාගෙන් පාලිත් ඉගෙන ගත්තා. ඊළඟට ‘පාක්‍ය ලක්‍ෂ්මි බවන්’ තෝසෙ කඩෙන් තෝසෙ දෙකක් ගිලලා තමයි මං ගුවන් විදුලියට යන්නෙ.

1964 විතර වෙනකොට මගේ ඉංගිරිසි දැනුම හුඟාක් දියුණුයි. ශ්‍රී ලංකා විද්‍යාලයේ බද්දේගම විමලවංශ නායක හාමුදුරුවෝ මට දවසක් එන්න කියලා පහළ පන්තිවල භික්‍ෂුන්ට ඉංගිරිසි උගන්වන්න කියනවා. මාත් ඒක හරියටම කළා. මගේ දැනුම දියුණු කරගන්න ගමන් මං ඉංගිරිසිත් උගන්නනවා. මං ආනන්දේ දි ආර්. ඒ. චන්ද්‍රසේන සංගීත ගුරුතුමා යටතේ සංගීතයත් හැදෑරුවා. නමුත් මට ගායනා හැකියාවක් නෑ.

මහාචාර්ය සරච්චන්ද්‍රගෙන් පන්ති කාමරවල ඉගෙනුමක් නැතිවුණත් බොහෝ දේ මට ලැබුණා. එතුමා ‘පබාවතී’ සුදර්ශියේ පුහුණු කරන කාලෙ මටත් එන්න කියනවා. එතුමාගේ ගෙදරටත් ගිහින් නොයෙක් සාහිත්‍ය පොත් ගැන කතා කරනවා. එතුමා හැදුවෙ නාට්‍යධර්මී ශෛලීගත නිර්මාණ නිසා මට නාට්‍යවලට නම් සම්බන්ධ වෙන් අවස්ථාව අඩුයි. ඒත් එතුමා සරසවියක් නිසා ඉගෙන ගන්න දේ වැඩියි.

● ගායනාවක් කරන්න සරච්චන්ද්‍රගෙන් ඉල්ලීමක්

දවසක් එතුමාගේ ගෙදර අප දෙදෙනා පමණක් ඉන්නා විට එතුමා අහනවා ඔබට ගායනා කරන්න පුළුවන්ද කියලා. මා කීවා බැහැ කියලා. එහෙනම් මොනවා හරි ගායනාවක් කරන්න. එතුමා ඉල්ලා සිටියා. අපේ තාත්තා ගැනත් එතුමා අහලා තියෙනවා. මගේ තාත්තා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක්. මාර්ටින් හේන්ද්‍රි ද මැල්. මහජන සෞඛ්‍යය ජනතාව අතර ජනප්‍රිය කරවන්න මගේ තාත්තා ‘විනීත හේමා’ කියලා නාට්‍යකුත් හදලා තියෙනවා. එතුමා අනගාරික ධර්මපාලතුමාටත් හිතවත්ව ඉඳලා තියෙනවා. ගුණපාල මලලසේකර මහචාර්යතුමාත්, ඇන්. ඇම්. පෙරේරා මහත්මයත් එතුමාගේ යාළුවෝ. මේ ඔක්කොම සරච්චන්ද්‍ර මහත්මයා දැනගෙන. පවුලෙම තියෙනවානේ කලාව, මොනවා හරි ගායනා කරන්න. සින්දු කියන්න සුනන්දට පුළුවන්. මා කීවා බැරිම තැන තාත්තා ගෙදර දී කියන කවියක් නම් මතකයි කියන්නම් කියලා.

මනමාලි කැන්දගෙන
ගෙදරට ආපි
ගෙදර හිටිය මයිනා
කොටලා ඒක අඬාපි
යන් මනමාලි අඬලා
හැපිලා කඳුළු වැටිලා
මුහුණ කැත වුණා…

මං එහෙම කියා ගෙන ගියා. සරච්චන්ද්‍ර මහත්මයා අහගෙන ඉඳලා ඔව්, එහෙමත් සින්දු කියන්න පුළුවන් කීවා. ඒක සරච්චන්ද්‍රයන්ට ම ආවේණික සදය උපහාසය. ඊට පස්සේ අපි කතාකරන්නෙ පොත් ගැන. ‘මළවුන්ගේ අවුරුදුදා’, මළගිය ඇත්තෝ, වික්‍රමසිංහයන්ගේ ‘විරාගය’ මේ වගේ දේ. එතුමා මුනිදාස කුමාරතුංග දන්නවාද කියලා ඊළඟට අහනවා. මං කියනවා ඔව්. ‘හත්පණ’, ‘මඟුල්කෑම’, ‘පියසමර’ විතරක් නොවේ ශික්‍ෂා මාර්ගය වගෙ පොත් මා කියවා තිබෙනවා. එතුමා ඒ හැම පොතක් ගැනම පිරිසිදු විචාරයක් කරනවා. කවරදාවත් සරච්චන්ද්‍ර මහත්මයා කුමාරතුංගව පිළිකෙව් කළේනෑ. මාර්ටින් වික්‍රමසිංහත් කවරදාවත් කුමාරතුංගට ගැරහුවේ නෑ.

● නිර්මල ගම ගැන සංවාද

සමහර විට එතුමා සමග වාද විවාද මට්ටමින් දේවලුත් ඇතිවෙනවා. සර්, නිර්මල ගමක් මේ රටේ තියෙනවා ද? මං අහනවා. ඇයි? නැත්තෙ කියලා පටන් ගන්නවා. කතා කරලා බේරෙන්න බෑ. හරිම සුන්දර තියුණු අදහස් එතුමාට තියෙන්නෙ.

1966 දී මා ‘ගැහැනියක්’ කියා නාට්‍යයක් කළා. සතිස්චන්ද්‍ර එදිරිසිංහ මෙහි ප්‍රබල රංගනයක් කළා. ‘ඕනෑම මුග්ධ ප්‍රේක්‍ෂකයකු වසඟ කරන ශක්තියක් මේ නාට්‍යයේ ඇත කියලා මහාචර්ය සරච්චන්ද්‍ර ඒ නාට්‍යයට විචාරයක් ලීවා පත්තරේකට.

● පෙරදිග හා අපරදිග ප්‍රඥාව

කැකුළාවල ගුරුවරයා වගේම සරච්චන්ද්‍ර, වික්‍රමසිංහ, පරණවිතානත් මා ඔසවා තැබුවා

තවත් දවසක ආනන්ද කුමාරස්වාමි ගැන ඔබ දන්නවා ද? කියලා සරච්චන්ද්‍ර මහත්මයා මගෙන් ඇහුවා. මා දන්නා තරමින් විස්තර කළා. එතුමා කීවා පෙරදිග ජනයා ළඟ තිබුණු ප්‍රඥාව අපරදිග ජනයා ළඟ නෑ සුනන්ද කියලා පටන් ගත්තා. ‘ශිව නර්තනය’, ‘මධ්‍යකාලීනව සිංහල කලා’ ආදිය ගැන මගේ හිත වශීකරවන අන්දමේ කරුණු රැසක් ගෙන හැරපෑවා. මගේ හිත කලා සාහිත මං පෙතේ දුර දිග ගෙනාවේ ඒ දෙසුම්.

මේ කාලේ ගුවන් විදුලියේ නිබන්ධ සම්පාදක තනතුරේ හිටියේ මහගමසේකර මහත්මයා. එතුමාට මීරිගම ගුරු අභ්‍යාස විදුහලේ සහකාර කථිකාචාර්ය තනතුරු හිමිවුණා. දැන් ගුවන් විදුලි නිබන්ධ සම්පාදක තනතුර පුරප්පාඩුයි. මට ඒකට අයදුම්පත දාන්න කීවේ සරච්චන්ද්‍ර මහත්මයා.

මේ අතර බද්දේගම විමලවංශ නායක හාමුදුරුවෝ ශ්‍රී ලංකා විද්‍යාලයේ ඉංග්‍රීසි උගන්වන්න ගියාම මගෙන් අහනවා අහවල් තනතුරට මහත්මයා ඉල්ලුම් කළාද? කියලා. මං කීවා එහෙමයි කියලා. ඒක ලැබුණොත් මෙහි ඉංග්‍රීසි උගන්වන එක අත්හරිනවා ද? කියලා ඊළඟට ඇහුවා. මා කීවා වෙලාව අනුව හවසට හරි ඇවිත් ඒ කටයුත්තක් කරනවා කියලා. හාමුදුරුවෝ ඒ වනවිටත් මේ පුරප්පාඩුව මට ලැබෙන බව දැනගෙන ඉන්න ඇති. පස්සෙ කාලෙක කන්නිමහර සුමංගල හාමුදුරුවෝ ශ්‍රී ලංකා විද්‍යාලයේ ඒ තනතුරට ආවා.

● පුදමු මේ කුසුම් හරවා කියන්න

මං දැන් නිබන්ධන සම්පාදක තනතුර ලබාගන්න ගුවන් විදුලි සම්මුඛ පරීක්‍ෂණයට ගිය සිද්ධිය කියන්නම්. පරීක්‍ෂක මණ්ඩලයේ හිටියෙ ඕල්කට් ගුණසේකර මහත්මයයි කේ. එච්. ජේ. විජයදාස මහත්මයයි. ඕල්කට් මහත්මයා මගෙන් අහනවා ‘පුදමු මේ කුසුම් තෛලෝක නාථ පාද පද්ම වැඳ බැතියෙන……… මේ ගීයේ මුල් පද වැල ඉංග්‍රිරිසියට පෙරළන්න කියලා. මා කීවා WE OFFER THESE FLOWERS AT THE FOOT OF THE NOBLE SACRED BUDDHA WITH THE AT MOST BLISS BORN WITHING MY
HEART කියලා. එතුමන් මා පිළිගත්තා.

● හෙළ හවුලත් සමග හවුල

ඉස්කෝලෙ යන කාලේ කැකුළාවල ගුරුතුමත් කුමාරතුංග ගැන කියවන්න මා උනන්දු කළා. මං එතකොට හිටියෙ දෙහිවල පුංචි අම්මලගෙ ගෙදර. හෙයාලයින් පාර අද්දර ළඟ තැනක හෙළ හවුලට සම්බන්ධ විද්වතුන් පිරිසක්ද බෝඩිමක හිටියා. අරිසෙන් අහුබුදු, සඳරුස් කෝපරහේවා, ගුණපාල සේනාධීර, අලවුඉසි සැබිහෙළ වැනි අය.

අලවු ඉසි සැබිහෙළ මහත්මයා මට කුමාරංතුග ගැන කියා දෙනවා. ඒ තැන්වලට එන්න කියනවා. මට කුමාරතුංගයන්ගේ දැනුම ගැන වැටහුණේ එවිටයි. මා එතුමන්ගේ පොත පතින් බොහෝ දේ උගත්තා.

● දෙහියාගමේ ළමයා

අබ්රට් ගම්හේවා සුනිල් ශාන්තයන් ගැන කියන්නේ දෙහියාගමේ ළමයා කියලයි. හත්පණ, මඟුල්කෑම මේ පොත් ගැන අපූරු දේ ඒ වියතුන් කියනවා. මේ දැනුමත් මට ගුවන් විදුලියේ දී උපකාර වෙනවා. භාවගීත, සරල ගී, පiාවලී, බටහිර කාව්‍ය මේ හැම දෙයින්ම සන්නද්ධව දැනුමක් ඇතිව හිටියොත් හොඳයි කියන එක සරච්චන්ද්‍ර මහත්මයත් මට කියලා තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා තමයි මේ ගැන හොඳටම කියන්නෙ.

වික්‍රමසිංහ මහත්යා සමගත් මා හැම විටම හමුවූ තැන දී ගොඩාක් සාකච්ඡා කරනවා.

ගෙදරත් යනවා. ගුවන් විදුලි සාකච්ඡාවලට ආවාම අපි අතර ලෙන්ගතුකම වැඩෙනවා.

‘විරාගය’ වගෙ පොත් ගැන වාද විවාද ඇතිවන විට අපිත් බොහෝ දේ උගෙන ගන්නවා. සරච්චන්ද්‍ර මහත්මයයි. වික්‍රමසිංහ මහත්මයයි ශ්‍රාස්ත්‍රීය වාදවලට ගියාම අපි දෙපැත්තෙම නෑ. දෙන්නාගෙන්ම ඉගෙන ගන්නවා.

● පරණවිතානගේ කාලය මැනීම

මහාචාර්ය සෙනරත් පරණවිතාන දවසක් ගුවන් විදුලි මැදිරියට ආවා සාකච්ඡාවකට. පටිගත කිරීමට පෙර එතමා ඇහුවා මට කොච්චරක් වෙලාව තියෙනවාද? ළමයි කියලා. මා කීවා අපට පැය 1 1/4 ක් තියෙනවා සර් කියලා. පුදුමය අපේ සාහිත්‍ය ඉතිහාසය, සීගිරි ගී, පළමු වැනි විජයබා කාලය මේ ඔක්කොම සම්පිණ්ඩනය කරලා එතුමා කතා කළා හරියටම පැය එකයි කාලයි. කොහොම කාලය මැන්නද මන්දා. මගේ උනන්දුව දැකලා එතුමාත් මට කීවා ගෙදර එන්න කියලා.

එතකොටත් එතුමා පුරාවිද්‍යා කොමසාරිස්. රේමන්ඩ් පාරේ ගෙදර තිබුණෙ. මං එතුමාව හමුවෙන්න ගියා. ‘දැන් මේ ළමයා කැමැති මොනවා ඉගෙන ගන්නද? පරණවිතාන මහත්මයා ඇහුවා. මා කීවා සර් හැම දේ ගැනම දැනගන්න කැමැතියි. ඒත් දයානන්ද ගුණවර්ධන, සරච්චන්ද්‍ර යන මහත්වරුන් නිසා මගේ නාට්‍ය ගැන ඉගෙන ගන්න කැමැත්ත වැඩියි කියලා එතුමාට කීවා. නාට්‍ය ශාස්ත්‍රය හරිහැටි දැනගන්න නම් ඉස්සෙල්ලම කියවනවා ‘නෘත්‍ය රත්නාකරය’ කියලා. මං කීවා ඒ පොත මා හොයාගන්නෙ කොහොමද? පොත සාප්පුවල දකින්න නෑ කියලා. හරි, මං උදව් කරන්නම් කියලා පරණවිතාන මහත්මයා මට කොල කෑල්ලක යමක් ලියලා දුන්නා. ‘මේක අරගෙන කටුගේ පුස්තකාලයට යන්න. එතැන සිල්වා කියලා මහත්මයෙක් ඉන්නවා. එයාට මේක දෙන්න. පරිස්සම් කරලා හොඳට කියවලා ගෙනැත් දෙන්නත් ඕනෑ. කියලා එතුමා මා පිටත් කළා.

● මං මිස්ටර් සිල්වා නොවේ ඩොක්ටර් සිල්වා

මං හරිම ආසාවෙන් ගියා කටුගේ පුස්තකාලෙට. සිල්වා මහත්මයා හමුවෙලා අර කොල කෑල්ල දීලා මිස්ටර් සිල්වා මට දවස් දෙකකට ‘නෘත්‍ය රත්නාකරය’ පොත දෙන්න කීවා. මනුස්සයා මගෙ දිහා බලලා අමනාපයෙන් වගේ ‘මං මිස්ට සිල්වා නොවේ ඩොක්ටර් සිල්වා’ කීවා. මං ඩොක්ටර් සිල්වා මට මේක කරදෙන්ට කීවා. අන්න අතන බලනවා. එයා පොත් රාක්කෙ තැනක් පෙන්නුවා. මං හෙව්වා හෙව්වා පොත නෑ. මං කීවා පොත නෑ ඩොක්ටර් සිල්වා කියලා. නැත්නම් ඉතින්! නෑ මං මොනවා කරන්නද? මිනිහා ඇහුවා.

මං ආයිත් ගියා සෙනරත් පරණවිතාන මහත්මයාගේ ගෙදරට එතුමා ගමනක් යන්න සූදානමින් හිටයෙ. මං එනකොටම ඇහුවා පොත හමුවුණා ද කියලා මා කීවා සිද්ධිය.

● පොත හොයා ගත්තෙ පළපුරුද්දෙන්

ළමයා එනවා මා එක්ක. කෙළින්ම එතුමාගේ වාහනයෙන්ම කටුගෙට ගියා. පරණවිතාන මහත්මයා දැක්ක ගමන් සිල්වා මහත්මයත් නැඟිටලා. මුළු දෙපාර්තමේන්තුවේම නිලධාරීන් නැඟිටලා. සිල්වා මහත්මයාට මුකුත්ම නොකියා කෙළින්ම ගියා අර මුලින් මා අතපත ගෑ රාක්කයට. කෙළින්ම පොත් දෙක තුනක් පෙරළලා හරියටම පොත අතට ගත්තා. අරගෙන කීවා මේ පොත කියවලා සිල්වා මහත්මයාට ම දෙන්න කියලා. පුදුම මතකයක්. ඒ හැම පොතක්ම හරියටම තියෙන තැන එතුමා දන්නවා. ඒ තෝරාගැනීමෙන් මට ඒක අවබෝධ වුණා.

● පොල් අතු කෑල්ලෙන් කාරය ගොඩ

මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමග රඹුක්කන ‘සලා’ ගුරුන්නාන්සේ හමුවෙන්න ගිය වෙලාවක එතුමා කී ගුරුහරුකමක් මතකයි. මමයි, ඩොක්ටරුයි, සුනිල් සරත් පෙරේරායි, කරුණාරත්න අමරසිංහයි, නාරද දිසාසේකරයි කට්ටිය ඔක්කොම දැන් යනවා ‘සලා’ ගුරුන්නාන්සේ හමුවෙන්න. මඩ ටිකක් තිබුණු පස බුරුල් තැනක දැන් කාරයේ රෝදයක් එරිලා. ගොඩ එන්නෙ නෑ. කට්ටිය බැහැලා වීර්යය දාලා කාරය තල්ලු කරනවා ගොඩ ගන්නා. මහාචාර්ය සරච්චන්ද්‍රට තල්ලු කරන්න දුන්නෙ නෑ. මිනිස්සු කොච්චර තල්ලු කළත් කාරයේ රෝදය ගොඩ ආවේ නෑ. මං කල්පනා කරලා අමු පොල් අතු කෑල්ලක් රෝදයේ වළට කිට්ටු කළා. ඒකෙ දැවටිලා කාරය ගොඩ ආවා. මේක දැකපු සරච්චන්ද්‍රයන්ට පුදුම සතුටක්. එතුමා කීවා මෙහෙම.

One Ounce of Knowlege is Thousand Kilograms of Power තේරුම දැනුමේ එක අවුන්සයක් බලවත් වෙනවා කිලෝ ග්‍රෑම් දහසක බලයට වඩා කියන එක. මේ කියුම් අපේ ජීවිත හැඩ කළා. මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගෙන් මගේ ජීවිතයට ලැබුණෙ ඇත්ත යුත්ත. දැනුම හා දැකුම. විරාගය පොතෙන් බොහෝ දේ ඉගෙන ගත්තා.

● ආනන්දය හා ප්‍රඥාව

වරක් රොබර්ට් ෆොර්ෂ්ට්ගේ කියමනකින් මට සිංහල වදන හදාගන්න මා සරච්චන්ද්‍රයන්ගේ පිහිට පැතුවා. ඒ වචනය Poetry Commences in Delight and Endsin Wisdom එතුමා ඩිලයිට් යන වචනය ආනන්දය ලෙස ගන්න කීවා. ‘විස්ඩම්’ යන වචනයට අරුත දුන්නෙ ප්‍රඥාව කියලයි. මේ අනුව කවිය ආනන්දයෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් කෙළවර වේ කියන අදහස මුල්වරට ප්‍රකාශ කළේ මහාචාර්ය සරච්චන්ද්‍ර.

මේ විදියට මට නියම් ආකාරයෙන් හා අනියම් ආකාරයෙන් විද්වතුන් බලපෑවා.

උපාලි සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment