දෙවැනි සැත්කමින් සීතාගේ සිරුරෙන් යකඩ බෝලයක් සහ ඊයම් කැබලි එළියට

275

සැත්කමකට ලක්කළ සීතා ඇතින්නගේ සිරුරේ තිබී මිලි මීටර 06 ක විශ්කම්භයෙන් යුත් යකඩ බෝලයක් සහ ඊයම් කැබලි කිහිපයක් හමුවී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් ඊයේ (17දා) සීතා ඇතින්න සැත්කමකට ලක් කළ පසු මෙම ඊයම් බෝල ඉවත් කර ඇත

දෙවැනි සැත්කමින් සීතාගේ සිරුරෙන් යකඩ බෝලයක් සහ ඊයම් කැබලි එළියට

වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසු සීතා ඇතින්නට සිදුකළ දෙවන සැත්කම මෙයයි. පැය හතරක පමණ කාලයක් සැත්කම සඳහා ගත වූ අතර වෙඩි වැදුණු ස්ථානයේ සිට සෙන්ටි මීටර් 03 ක් පමණ ඇතුළතින් යකඩ බෝලය තිබූ බව මහාචාර්ය දංගොල්ල මහතා කීය.

මේ වනවිට ඇතින්න වෙඩි ප්‍රහාරයකට ලක්ව දින 18 ක් ගතව තිබෙන බවත් ක්‍රමයෙන් ඇතින්නගේ ශරීර සෞඛ්‍ය දුර්වල වන නිසා ශරීරයේ ලෝහ කොටස් ඇත්දැයි සොයාබලා ඒවා ඉවත් කිරීමට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සැත්කම සිදුකළ බව දංගොල්ල මහතා පැවසුවේය.

මෙම යකඩ බෝලය තවත් ඇතුළට ගමන් කළේ නම් පෙනහලු සහ හෘදයට හානි වීමට තිබූ බවත් මේ ආකාරයෙන් තවත් යකඩ බෝල උරස් කුහරයේ හෝ පෙනහලු ආශ්‍රිතව තිබේද යන්න පිළිබඳව සැක මතුවන බවත් ඒ මහතා කීවේය. මෙවැනි තවත් යකඩ බෝල තිබේ දැයි සොයාගැනීම සඳහා අවශ්‍ය ස්කෑන් හෝ එක්ස්රේ යන්ත්‍ර නොමැතිවීම බරපතළ ගැටලුවක් බවද පැවසූ හෙතෙම සතා දුර්වල වීම වළක්වා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමුකර ප්‍රතිකාර ලබාදෙන බව ද පැවසීය.

රබර් උණ්ඩ යොදා ඇතින්නට වෙඩි තැබූ බවට වනජීවී සංරක්ෂණ නිලධාරීන් කළ ප්‍රකාශය අසත්‍ය බව දැන් හෙළිවී ඇතැයි ඇතින්නගේ හිමිකරු වන එස්.එම්. රොෂාන් මහතා කීය. ඇතින්නට වෙඩි ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදීම අසත්‍ය ප්‍රචාර කරමින් වනජීවී නිලධාරීන් හා පොලිසිය මුළු රටම

රැවටීමට උත්සාහ කළත් මේ වනවිට ඔවුන්ගේ නිරුවත හෙළිදරව් වී ඇතැයි ද ඒ මහතා පැවසීය.

මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ ජීව උණ්ඩවලින් බව දැන් අනාවරණය වී ඇතැයි ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධ වගකීමෙන් බැහැර වීමට නොහැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඇතින්න සැත්කමට ලක් කළ යටිනුවර රණවන ප්‍රදේශයේ ඇත් ගාලට මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ, මහියංගන පොලිසියේ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැමිණ සිටියහ.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment