සෙබළකු පැහැරගත් තිදෙනාට ‘අතුරුදන් කිරීමට එරෙහි සම්මුති පනත’ යටතේ නඩු පවරන්න

410

නීතිපතිට පැමිණිලි

පසුගිය මාර්තු 27 වැනිදා වෙස් මාරු කරගත් පුද්ගලයන් තිදෙනකු විසින් හොරොව්පතාන ප්‍රදේශයේදී සුදු වෑන් රථයක් භාවිත කරමින් කපිල කුමාර ද සිල්වා නමැති 43 හැවිරිදි හිටපු යුද හමුදා නිලධාරියා බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් දින 25කට ආසන්න කාලයක් අතුරුදන් කළ සිද්ධියේ වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදන් කිරීමට එරෙහි සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලෙස ඉල්ලා සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඊයේ (13දා) නීතිපතිවරයාට පැමිණිල්ලක් භාරදුන්නේය.

බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදන් කිරීම ශ්‍රී ලංකාව තුළ අපරාධයක් බවට නීතිගත වූ 2018 අංක 5 දරන පුද්ගලයන් අතුරුදන් කිරීමට එරෙහි සම්මුති පනත යටතේ නීතිපතිවරයා වෙත භාරදුන් පළමු පැමිණිල්ල එය වෙයි. ඒ භාරදීමේ අවස්ථාවට අතුරුදන්වීමට ලක්වී හිටපු හමුදා නිලධාරියාගේ දෙමාපියන්, සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේරා හා එම කමිටුවේ සභාපති සුදේශ් චන්දිමාල් ඇතුළු පිරිසක් එක්වූහ.

නෙළුගොල්ලෑව, හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ගෝනපීනුවල කපිල කුමාර ද සිල්වා නමැති එම හිටපු හමුදා නිලධාරියා ‘පාන්’ රැගෙන ඒම සඳහා පසුගිය මාර්තු 27 වැනිදා පස්වරු 6.30ට පමණ සිය යතුරුපැදියෙන් හොරොව්පතාන මංසන්දියට ගිය අවස්ථාවේදී ඔහු අසලට පැමිණ තිබූ රැවුල් වවාගත් පුද්ගලයන් දෙදෙනකු ඔහුගේ දෑත්වලට මාංචු දමා තවත් පුද්ගලයකුගේ සහාය ඇතිව අසල තිබූ සුදු පැහැති මැස්ඩා වර්ගයේ රථයකින් පැහැරගෙන ගොස් තිබිණි. අනතුරුව රෙදිකඩකින් ඔහුගේ දෑස් බැඳ දැඩි ලෙස පහරදී කැලෑවක් තුළට රැගෙන ගිය බවත් ඔවුන් පොලිසියෙන් බව තමාට ප්‍රකාශ කළත් ඔවුන් භාවිත කළ වචන අනුව ඔවුන් හමුදා නිලධාරීන් බව හිටපු හමුදා නිලධාරියකු වූ තමාට අවබෝධ වූ බවත් එම පැමිණිල්ල සමග ඉදිරිපත් කළ පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයාගේ දිවුරුම් ප්‍රකාශය මගින් නීතිපතිවරයාට කියා තිබිණි.

එලෙස පැහැර ගැනීමට ලක්වූ තමාට ඉතා අමානුෂික ලෙසින් පහරදෙමින් පිටිගල හා ගලබොඩ ප්‍රදේශවල සිදුවූයේ යැයි කියන ද්විත්ව ඝාතන ගැන ප්‍රශ්න කළ බවත් ඉන් දින විසිපහකට පමණ පසු එනම් 2024.04.20 වන දින පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් තමා පිටිගල පොලිස් ස්ථානයට භාරදීමෙන් අනතුරුව පසුදින ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් මේ වනවිට ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ඔහුගේ දිවුරුම් ප්‍රකාශය මගින් නීතිපතිවරයාට කියා තිබිණි. එලෙස බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමත් පෙර කී පනත යටතේ ගැනෙන අතුරුදන් කිරීමේ චෝදනාව එල්ල කළ වැරදි වන බැවින් එයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව විමර්ශන සිදුකොට ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ද එම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment