අන්තර්ජාලය ඔස්සේ පළකරන දැන්වීම් මගින් විවිධ ප්‍රදේශවල පුද්ගලයන් සම්බන්ධ කරගනිමින් සෝයාමීට් නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා ලබාදෙන බව පවසා කෝටි ගණනක වංචාවක් සිදු කර පොලිසිය සහ අධිකරණය මගහරිමින් සිටි නුගේගොඩ අධිකරණයේ පමණක් විවෘත වරෙන්තු 29ක් සහ දින වරෙන්තු 30ක් ඇති රූමත් කාන්තාවක් ප්‍රදේශයෙන් පලාගොස් ජාඇල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක ලෙස සේවයේ යෙදී සිටියදී ඊයේ (21දා) උදෑසන අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
හතළිස් එක් හැවිරිදි සැකකාරිය කඩවත, සූරියගම ප්‍රදේශයේ ස්ථිර පදිංචිව සිට කුලී පදනම මත ලබාගත් නිවසේ මෙම ව්‍යාපාරය පිරමීඩ ක්‍රමයට පවත්වාගෙන යන බව හඳුන්වා දී ඇති බවත් එම ක්‍රමය අනුව ඉහළින් සිටින පුද්ගලයාට වැඩියෙන් මුදල් ලැබෙන බව පවසා මෙම සෝයා නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා භාරදී ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.
සැකකාර කාන්තාව නුගේගොඩ, නාවල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් ස්ථානයක සිට අන්තර්ජාලයේ පළ කරන දැන්වීම් මගින් සෝයා නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා ලබාදීමට හැකි බවත් එයින් ඇසුරුම් කිරීමේ රැකියාවේ යෙදෙන අයට විශාල ආදායමක් ලබා ගැනීමට හැකි බවත් පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් කැඳවා මුදල් තැන්පත් මත සෝයා වර්ග ඇසුරුම් කිරීමට ලබාදී ඇති බවත් එම සෝයා වර්ග ඇසුරුම් කර නැවත රැගෙන විත් ලබාදීමෙන් පසු ඊට අදාළ ඇසුරුම් කිරීම සඳහා ගෙවන මුදල ද තැන්පත් වශයෙන් රඳවා ගෙන ඇති බවත් පැකට් කර රැගෙනවිත් භාර දුන් සෝයා වර්ග නැවත ඇසුරුම් ඉවත් කර වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන්ට ලබා දී ඇති බවත් රැකියාවේ යෙදෙන අයට ගෙවීමට ඇති මුදල් බැංකු ගිණුම් ඔස්සේ ලබාදෙන බව පවසා ඇසුරුම්කරුවන්ට මුදල් නොගෙවා කට්ටි පනිමින් සිටියදී මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතවීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටි බවත් මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකාරිය සිදුකර තිබූ කෝටි ගණනක වංචාව සම්බන්ධයෙන් නුගේගොඩ අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් තිබූ බවත් එම නඩු විභාගවලට මුහුණ නොදී ප්‍රදේශයෙන් පැනගොස් ජාඇල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක වශයෙන් සිට ඇති බවත් විභාග වෙමින් පැවති නඩු කටයුතු සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු 29ක් හා දින වරෙන්තු 30ක් නිකුත් කළ ද එය ද නොතකා පොලිස් ඇසට වැලි ගසා සැඟව සිටිමින් වත්මන් ජීවිකාවේ යෙදී ඇති බවත් පොලිසිය පවසයි. සැකකාර කාන්තාව ඊයේ සවස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති හසන්ත මාරපන, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස්. ජයමහ මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.කේ.ජී. හේවගේ, මිරිහාන මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර යන මහත්වරුන්ගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායම් අංක 01 භාර උප පොලිස් පරීක්ෂක නුවන් වීරතුංග මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (68011) විජේරත්න, කොස්තාපල් (94555) කුමාර, (96824) හර්ෂ, 93302 දයාරත්න, කාන්තා පොලිස් කොස්තාපල් (11379) අයේෂා යන නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
මහරගම – එස්. ඩී. අබේසිංහ