බිරිඳගේ පාස්පෝට් එකෙන් කාන්තාවක ඉතාලියට පන්නන්න හැදූ සැමියා අත්අඩංගුවට

189

තම බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය යොදාගෙන වෙනත් කාන්තාවක් ඉතාලිය වෙත රැගෙන යෑමට තැත්කළ සැමියෙකු පෙරේදා (31 දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ පස් හැවිරිදි කුඩා පුතා සමග තම බිරිඳ ලෙස හැඟවෙන පරිදි කන්කසන්තුරය ප්‍රදේශයේ 29 හැවිරිදි කාන්තාවක සමග ඉතාලිය වෙත පිටත්ව යෑම සඳහා පෙරේදා දහවල් 01.45ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී. 9509 දරන ගුවන් යානයට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

එහිදී මෙම පවුලේ ලියකියවිලි නිශ්කාශන කර ගැනීමට විගමන කවුළුව වෙත පැමිණි අවස්ථාවේ මොවුන් පිළිබඳව ඇති වූ සැකය මත මොවුන් තිදෙනා දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමුකර තිබේ. එහිදී සිදුකළ තාක්ෂණික පරීක්ෂාවන්වලදී සහ සිදු කළ මූලික විමර්ශනවලදී මෙම කුඩා දරුවා, මෙම පියාගේ වුවද, මෙම කාන්තාව ඔවුන්ගේ පවුලේ බිරිඳ හෝ මව නොවන වෙනත් පරිබාහිර කාන්තාවක් බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම පුද්ගලයා මීට සති කීපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ ඉතාලියේ සිටින සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය ද රැගෙන පැමිණ, එයට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන මුද්‍රාව, ව්‍යාජ ලෙස සකස් කර, එය තබාගෙන තිබේ. එම ගුවන් ගමන් බලපත්‍රය යොදාගෙන මෙසේ වෙනත් කාන්තාවක් මොහු ඉතාලිය වෙත රැගෙන යෑමට තැත්කර ඇති අතර මීට පෙර අවස්ථාවකදීද සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය මෙසේ යොදා ගෙන තවත් වෙනත් කාන්තාවක්ද ඉතාලිය වෙත රැගෙන ගොස් ඇති බවද ආගමන විගමන නිලධාරීන් වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව මොවුන් තිදෙනා ආගමන විගමන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment