ඌව පළාතේ මිලියන ගණනාවකගේ ජීවිත අනතුරේ

179

කිසිම රෝහලක හෘද කැතීටකරණ ඒකකයක් නෑ
යන්ත්‍රයක් ගැනීමට මහජන ආධාර ඇතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපිය ගල් වෙලා

මිලියන 1.2 ක ජනගහනයක් වාසය කරන ඌව පළාතේ කිසිම රෝහලක හෘද කැතීටකරණ (ඇන්ජියෝග්‍රෑම්) ඒකකයක් නැති බව පවසන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් මාධ්‍ය කමිටු සාමාජික බදුල්ල ශික්ෂණ මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා එවැන්නක් ඇත්නම් අකාලයේ අහිමි වන හදවත් රෝගීන් දහස් ගණනක් බේරා ගැනීමේ හැකියාව ඇතැයි 02 දා පැවැසීය.

ඌව පළාතේ මිලියන ගණනාවකගේ ජීවිත අනතුරේ

හෘද කැතීටකරණ යන්ත්‍රයක මුල්‍යමය වටිනාකම දැනට රුපියල් මිලියන 250 ක් පමණ වුවත්, අපේ රටේ හෘද කැතිටකරණ යන්ත්‍රයක් නොමැති රෝහල් පවතින්නේ ඌව සහ සබරගමුව යන දෙපළාතේ පමණක් බව පවසන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා තවදුරටත් මෙසේද පැවැසීය.

ලංකාවේ රජයේ රෝහල් සහ පෞද්ගලික රෝහල් 42 ක හෘද කැතීටකරණ ඒකක තිබෙනවා.

මෙකී පරීක්ෂණයක් සඳහා ඌව පළාතේ හදවත් රෝගීන්ට විවිධ දුෂ්කරතා දරා ගනිමින් කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, පොළොන්නරුව මහ රෝහල, අනුරාධපුරය මහ රෝහල ආදිය කරා යෑමට සිදුව තිබෙනවා. මෙම තත්වය මත මහජන ආධාර මත ඌව පළාත් ශික්ෂණ රෝහලට හෘද කැතීටකරණ යන්ත්‍රයක් මිලදී ගැනීමට අදහස් කර තිබෙනවා.

නමුත් එය රෝහලට බාර ගැනීම වෙනුවෙන් රෝහලේ පාලනාධිකාරිය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් අවශ්‍ය කරන ලිපිය පසුගිය 2022 වසර ජුනි මාසයේ සිට ඉල්ලා සිටියත් ලැබුනේ නැහැ. ඌව පළාත් ශික්ෂණ රෝහලට හෘදකැතීටකරණ යන්ත්‍රයක් ලබා දෙනවා නම් එය බාර නොගන්නේ මන්දැයි මහජනයා අතර නොසන්සුන්තාවක් ද ඇතිවී තිබෙනවා.

හෘද කැතීටකරණ යන්ත්‍රය රෝහලට බාර ගැනීම සම්බන්ධ ලිපිය ලබා ගැනීමෙන් පසු මාස දෙකක වැනි සුළු කාලයක් තුළ විනිවිදභාවයෙන් වගවීමක් සහ වගකීමක් සහිතව එය මිලදී ගෙන රෝහලට බාරදීමට අපි මැදිහත්ව කටයුතු කරනවා. ඊට මහජන සහයෝගය ලැබෙනවා. බදුල්ල ඌව පළාත් ශික්ෂණ රෝහලේ එය ස්ථාපිත කිරීමට සුදුසු ඉඩකඩ ඇති අතර විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සේවය ලැබෙනවා. කාර්ය මණ්ඩල පුහුණුව ලබා දීමටත් හැකියාව පවතිනවා.
බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment