හඬට රටාවට බුද්ධිමය දේපළ නීතියෙන් ආරක්ෂාවක් නෑ: ගායක හඬත් චිත්‍ර රටාත් කෘත්‍රිම බුද්ධියේ හිරවෙනවා

137

පෞද්ගලිකත්වය හා බැඳුණු නීති වර්ධනය විය යුතුයි

බුද්ධිමය දේපළ නීතිය පිළිබඳ ආචාර්ය ලසන්ත ආරියරත්න

හඬට රටාවට බුද්ධිමය දේපළ නීතියෙන් ආරක්ෂාවක් නෑ: ගායක හඬත් චිත්‍ර රටාත් කෘත්‍රිම බුද්ධියේ හිරවෙනවා

කෘත්‍රිම බුද්ධිය මේ වන විට නිර්මාණකරණයට යොදාගෙන තිබේ. අප කැමැති වුවත් අකැමැති වුවත් තත්ත්වය එසේය. අනාගතය තවත් සංකීර්ණ විය හැකිය. කෘත්‍රිම බුද්ධියේ මෙම ප්‍රවේශයත් සමග නිර්මාණකරුවන්ගේ සුරක්ෂිතතාව කෙබඳු ද යන්න ගැටලු සහගත ය. මේ පිළිබඳව විමසීමට අප සම්බන්ධ කර ගත්තේ බුද්ධිමය දේපළ නීතිය පිළිබඳ ආචාර්ය ලසන්ත ආරියරත්න මහතාය.

මේ ඔහුගේ අදහස්ය.

කෘත්‍රිය බුද්ධිය මේ වන විට නිර්මාණකරණයට ඇවිත්. උදාහරණයක් විදියට විවිධ පරිගණක පද්ධති මගින් කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණ බිහි කරනවා. එහිදී ලොව එතෙක් මෙතෙක් සිටි චිත්‍ර ශිල්පීන්ගේ ඕනෑම ශෛලියක් භාවිත කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට ලෝක ප්‍රසිද්ධ වින්සන්ට් වැන්ගෝගෙ චිත්‍ර ශෛලියෙන් විදුලි පහනක් දැල්වෙන රාත්‍රි නගරයක චිත්‍රයක් අපට අවශ්‍ය බවට විධානය දුන්නාම කෘත්‍රිම බුද්ධියෙන් ඒ චිත්‍ර ශිල්පියා අඳින ආකාරයට ම ඇඳලා දෙනවා. මේක ගීත නිර්මාණයේදීත් ඉදිරියේදී භාවිතා වීමට නියමිතයි. ලෝකප්‍රකට ගායකයෙක්ගේ හඬක්, ශෛලියක් නම් කරලා මේ විදිහට මේ පද මාලාව ගයලා දෙන්න කිව්වම කෘත්‍රිම බුද්ධියෙන් අනාගතයේදී ඒක ගයනවා. දැනට කෘත්‍රිම බුද්ධියෙන් ගී තනු නිර්මාණය කරනවා. ඒ වගේම ගායනා කරනවා. ඉදිරියේදී අමරදේව මහත්තයාගේ හඬින් ගීත නිර්මාණය වේවි.

ගායකයන්ගේ හඬට සහ ශෛලියට මෙන්ම චිත්‍ර ශිල්පීන්ගේ ශෛලියට ද බුද්ධිමය දේපළ නීතිය යටතේ නිසි ආරක්ෂාවක් සහ රැකවරණයක් නැති නිසා ඉදිරියේදී කෘත්‍රිම බුද්ධියෙන් ඔවුන්ගේ හඬ සහ රටා ඇසුරෙන් විවිධ නිර්මාණ නිෂ්පාදනය වීමේ ඉඩකඩ පවතිනවා. ‘ජෙනරේටිව් ඒ.අයි.’ තාක්ෂණයේදී අදාළ ගායකයාගේ හඬ, උරුව ඒ ආකාරයෙන්ම යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක අනාගතේදී අදටත් වඩා ඉතාම පහසු දෙයක් වෙනවා. දැනට යොදාගන්න තාක්ෂණය තමයි හඬ ‘ක්ලෝන්කරණය’ කිරීම. ප්‍රකට ගායකයකුගේ තත්පර හැටක පමණ වොයිස් එකක් ලැබුණොත් ‘ක්ලෝන්කරණයට’ ලක් කරලා ඒ හඬම ගීත නිර්මාණවලට යොදා ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට මයිකල් ජැක්සන්ගේ හඬ ‘ක්ලෝන්කරණයට’ ලක් කළොත් තවත් මයිකල් ජැක්සන් කෙනෙක්ගේ හඬකින් ගීතයක් නිර්මාණය කරගත හැකියි. මේ ප්‍රශ්නගත කරුණට විසඳුම බුද්ධිමය දේපළ නීතිය සංශෝධනය කිරීම නෙවෙයි. බුද්ධිමය දේපළ නීතිය යටතේ එන ප්‍රකාශන හිමිකම් නීතියෙන් (කොපි රයිට් ලෝ එකෙන්) වෙන්නේ ප්‍රකාශයට පත් කළ යමක් ආරක්ෂා වීම. ඒක ගීතයක්, රචනාවක්, නාට්‍යයක්, චිත්‍රපටියක් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කිව්වොත් යම්කිසි ගීතයක් එළියට දැම්මට පස්සේ ඒකේ අයිතිය ආරක්ෂා වෙනවා. නමුත් ඒ හඬට සහ ශෛලියට, රටාවට ඇති අයිතියට නීතිමය රැකවරණයක් ලැබෙන්නේ නෑ.

ඒ නිසා නව නීති හඳුන්වා දිය යුතු වන්නේ පුද්ගල ස්වරූපය, ‘ඉමේජ් එක’, හඬ, රටාව, නම වැනි පුද්ගලයාගේ ස්වභාවයන් ආරක්ෂා වෙන ආකාරයටයි. පෞද්ගලිකත්වයේ නීති පද්ධති තමයි මෙහිදී වර්ධනය වෙන්න ඕන. අපි ඒකට කියනවා Right of publicity සහ personality rights කියලා. ඒ කියන්නෙ පෞද්ගලිකත්වය හා බැඳුණු නීති වර්ධනය වෙන්න ඕනෙ. ලෝකෙ නීති විශාරදයො මේ ගැන දැනටමත් අවධානය යොමු කරල තියනවා. ශ්‍රී ලංකාවේදීත් ඒ නීති රාමු සකස් කළ යුතුයි.

● අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment