මධ්‍යම පරිසර අධිකාරිය විසින් පවත්වන ලද ‘2024 හරිත දුම්රිය ස්ථානය’ තේරීමේ දීපව්‍යාප්ත තරගයෙන් ඇල්ල දුම්රිය ස්ථානය ප්‍රථම ස්ථානය හිමිකර ගන්නා ලදී. එකී ජයග්‍රහණය සඳහා වූ සම්මානය සහ සහතිකය ලෝක පරිසර දිනය යෙදී තිබුණු ජූනි මස 05 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අතින් ඇල්ල දුම්රිය ස්ථානාධිපති අසේන්ද්‍ර දිසානායක මහතා වෙත පිරිනමන ලදී.

හරිත දුම්රිය ස්ථාන අතර ඇල්ල පෙරමුණේ - වේයන්ගොඩට 2

මෙම තරගයේ දෙවැනි ස්ථානය වේයන්ගොඩ දුම්රිය ස්ථානයටද, තෙවැනි තැන රඹුක්කන දුම්රිය ස්ථානයටද හිමිවූ අතර ඉහළ කෝට්ටේ, ත්‍රිකුණාමලය, හැටන්, අහුන්ගල්ල සහ උකුවෙල යන දුම්රිය ස්ථාන කුසලතා සම්මාන හිමිකර ගත්තේය.

තරගයට එක්වූ උප දුම්රිය ස්ථාන අතරින් පළමු ස්ථානය හෝමාගම රෝහල පාර දුම්රිය ස්ථානයටද එහි දෙවැනි ස්ථානය මීසාලෙයි දුම්රිය ස්ථානයට ද හිමිවිය.

දුම්රිය ස්ථානයේ කසළ කළමනාකරණය, සනීපාරක්‍ෂක පහසුකම්, බලශක්ති කළමනාකරණය, ජල කළමනාකරණය, පාරිසරික සෞඛ්‍ය හා ආරක්‍ෂාව, පරිසර හිතකාමී වැඩසටහන්, පරිසර ඇගයීම්, පරිසර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, පැළ රෝපණය, දුම්රිය ස්ථානයේ සංවිධිත බව සහ ශ්‍රම කළමනාකරණය යන අංශ සලකා බලමින් ඇගයීම් කටයුතු සිදුකර තිබුණි.

හරිත දුම්රිය ස්ථාන අතර ඇල්ල පෙරමුණේ - වේයන්ගොඩට 2

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානයන්හි පරිසර හිතකාමී තත්ත්වයක් ඇතිකිරීම මගින් දෙස් විදෙස් මගීන්ට පහසුව සැලසීම, සංචාරක කර්මාන්තයට රුකුලක් ඇතිවන අයුරින් ආකර්ශනීය ස්ථානයක් බවට දුම්රිය ස්ථාන පත්කිරීම මෙන්ම පරිසර සංරක්‍ෂණ කාර්යය සඳහා දුම්රිය ස්ථාන යොමු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙම ජයග්‍රහණයෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ ඇල්ල දුම්රිය ස්ථානාධිපති අසේන්ද්‍ර දිසානායක මහතා කියා සිටියේ අවුරුදු තිහක අත්දැකීම් සහ සේවක මණ්ඩලයේ සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය තම දුම්රිය ස්ථානයට ලබාගන්නට හැකිවූ බවයි. ඇල්ල දුම්රිය ස්ථානයේ තමන් සේවය කළ 2013 වසරේදී ඇල්ල හොඳම දුම්රිය ස්ථාන දහය අතරට පැමිණි පසු ලැබුණු දින 14 ක ඉන්දියා සංචාරය සහ ලැබූ පුහුණුව මේ සඳහා වැටුණු මූලික අත්තිවාරම බව හෙතෙම පැවසීය.

“මෙම සංචාරයට පසු 2019 දී මම නැවත ඇල්ල දුම්රිය ස්ථානයේ සේවයට පැමිණියා. මේ කාලයේ රට පුරා කොරෝනා වසංගතය පැතිරුණා. අපේ සුපුරුදු රාජකාරි සීමා වුණා. එනිසා සේවක පිරිස සමග 5-S සංකල්පය අනුව වැඩ කළා. 2021 දී ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයෙන් පැවැත් වූ 5 -S සංකල්පය පිළිබඳ තරගයෙන් ඇල්ල දුම්රිය ස්ථානයට තවත් ජයග්‍රහණයක් හිමි වුණා.

හරිත දුම්රිය ස්ථාන අතර ඇල්ල පෙරමුණේ - වේයන්ගොඩට 2

ඇල්ල දුම්රිය ස්ථානය කාර්යබහුල ස්ථානයක්. සේවයකයන්ගෙන් වැඩ ගන්න නම් මුලින්ම ඔවුන්ගේ මනස සතුටින් තැබීම අවශ්‍යයි.

මධ්‍යම පරිසර අධිකාරිය අප වෙත වැඩමුළු පවත්වා දුම්රිය ස්ථානය ලෝක නිර්ණායකයන් අනුව පවත්වා ගෙන යෑමේ නිවැරැදි දැනුමක් ලබා දුන්නා. මෙතනට වැඩිපුරම පැමිණෙන්නේ විදේශික සංචාරකයන්. ඔවුන් ට වැඩි වෙහෙසක් නොමැතිව ඈත නොගොස් දුම්රියට ගොඩවීම ට දුම්රිය ඇංජිම නතර කළ යුතු ඉදිරිපස සීමාව සළකුණු කොට ආලෝක සංඥා පුවරු මගින් ටිකට්පත අනුව ගොඩ විය යුතු දුම්රිය මැදිරිය පහසුවෙන් සොයා ගැනීමට කටයුතු කළා.

විදේශිකයන් ප්‍රිය නොකරන තෙත ටොයිලට් වෙනුවට වියළි ටොයිලට් සැකසුවා. සංඥා අංශයේ තිබූ පරණ සුර්යකෝෂ පැනලයක් සහ බැටරියක් පණ ගන්වා විදුලිය විසංධි වූ විට ආලෝකය ලබා ගැනීමට සකසා ගත්තා. මගීන්ගේ ජංගම දුරකථනවල විදුලි ආරෝපණය අඩු වූ පසු ආරෝපණය කර ගැනීමට විදුලි ප්ලග් පෙළක් ද සවි කර පහසුකම් සලසා දී තිබෙනවා. දුම්රිය ස්ථානය තුළ කසළ බැහැර කිරීම විධිමත් කළා. සෑම ඉරු දිනකම කාර්ය මණ්ඩලයේ අප සැම දෙනා සමස්ත දුම්රිය ස්ථානයම සෝදා පිරිසිදු කරනවා.

අප සියලු දෙනාම වැටුපෙන් සුළු වියදම් පියවා ගැනීම සඳහා ගොඩනඟා ගත් අරමුදල පැල වර්ග සඳහා පෝර තණකොළ කැපීම සඳහා පෙට්‍රල් ආදිය මිලදී ගන්නවා. ජීව කොටු ඉදිකර සාදා ගන්නා කොම්පෝස්ට් පොහොර දුම්රිය ස්ථානයේ ඔසු උයනටත් වෙනත් වගාවන්ටත් යොදනවා.

මගී ජනයා දුම්රිය එනතෙක් රැඳී සිටින කාලයේ පොත් පරිශීලනය සඳහා පුස්තකාලයක් විවෘත කර තිබෙනවා. විදේශිකයන් බහුලව පැමිණෙන ඇල්ල දුම්රිය ස්ථානයේ මගේ සේවක පිරිසට උපදෙස් දී තිබෙන්නේ පැමිණෙන මගී ජනයා සමග සුහදව කතාබස් කර සිනාව පිරුණු මුහුණින් තම වටිනා සේවය ලබා දෙන ලෙසයි.

මිත්‍රශීලී මහජන සම්බන්ධතාව පවත්වා ගෙන යෑමට අප සියලු දෙනා කටයුතු කරනවා. මම දුම්රිය ස්ථානාධිපති කෙනකුට පැවැරී ඇති රාජකාරිවලින් ඔබ්බට ගොස් රාජ්‍ය හා පුද්ගලික ආයතන සමග ගොඩනඟා ගත් සම්බන්ධීකරණය මෙම ස්ථානයේ පවතින වර්තමාන තත්ත්වය ලැබූ ජයග්‍රහණය හේතු වුණා කීවොත් ඉතා නිවැරැදියි.

එහි ප්‍රතිපලයක් ලෙස පිවිසෙන මාර්ගය කාපට් කර ගැනීමටත් එකවර වාහන විශාල සංඛ්‍යාවක් ගාල් කිරීමට හැකි අලංකාර රථ ගාලක් සකසා ගැනීමටත් හැකි වුණා යැයි ඇල්ල දුම්රිය ස්ථානාධිපති අසේන්ද්‍ර දිසානායක මහතා පැවැසීය.

ඇල්ල දුම්රිය ස්ථානය සියවසකට වඩා ඉපැරැණි එකකි. එය භූ විෂමතාව අනුව ආකර්ෂණීය පරිසරයක් තුළ පිහිටා තිබේ. විදේශීය ජනයාගේ නිසැක සංචාරක ගමනාන්තයක් ද වේ. මොවුන් බොහෝ දෙනාගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වී ඇත්තේ උඩරට දුම්රියයි. ඇල්ල දුම්රිය ස්ථානය ‘හරිත දුම්රිය ස්ථානයක්’ ලෙස ප්‍රතිනිර්මාණය කිරීම ඉතා වැදගත් කාර්යයකි. රට තුළ ඇති වූ ආර්ථික කඩාවැටීම තුළ සංචාරක කර්මාන්තය ඉලක්ක කොට මෙවැනි හරිත දුම්රිය ස්ථාන තව තවත් රට තුළ බිහි කළ යුතුය. ඊට ඇල්ල දුම්රිය ස්ථානය කදිම ආදර්ශයකි.

බදුල්ල එච්. එම්. සමරකෝන් බණ්ඩාර
සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment