හලාවත මුහුදේ බෝට්ටුවක් පෙරළෙයි

136

ධීවරයෙක් මියයයි – තව ධීවරයෙක් පීනා ගොඩට එයි

පවතින අයහපත් කාලගුණය නොතකා මසුන් මැරීම සඳහා මුහුදු ගිය එක් දින ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව එක් ධීවරයකු මිය ගොස් ඇති අතර, තවත් ධීවරයකු ජීවිතය බේරා ගෙන ඇති බව හලාවත පොලිසිය පවසයි.

ඉකුත් 28 වැනිදා දහවල් හලාවත – කරුකුපනේට නුදුරු මුහුදේ දී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ හලාවත – අළුත්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ජයතුංග ආරච්චිගේ දොන් ජනිත් ක්‍රිශාන් අප්පුහාමි නමැති අවුරුදු 39ක් වූ දෙදරු පියෙකි. ජීවිතය බේරා ගෙන ඇත්තේ ඉඳුනිල් නදීශාන් නමැති අවුරුදු 36 ක් වයසැති අයෙකි.

අනතුරට පත්ව ඇති යාත්‍රාව 28 වැනිදා අළුයම හලාවත – අළුත්වත්ත ප්‍රදේශයෙන් මසුන් මැරීම සඳහා මුහුදු ගොස් ඇත. එම යාත්‍රාව හලාවත – කරුකුපනේට නුදුරු මුහුදේදී අයහපත් කාලගුණික තත්ත්වය නිසා පෙරළී තිබේ. අනතුරට පත් යාත්‍රාවේ සිටි එක් ධීවරයකු මුහුදේ පීනා කරුකුපනේ ගම්මනයට පැමිණ දිවි ගලවා ගෙන ඇත. යාත්‍රාව පෙරළී යාමෙන් අතුරුදහන්ව සිටි ධීවරයාගේ සිරුර 28 වැනිදා සවස ආරච්චිකට්ටුව – මුතුපන්තිය වෙරළට ගොඩ ගසා තිබියදී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඇත.

අනතුරෙන් දිවි ගලවා ගත්තේ ඉදුනිල් නදීශාන් (36) නමැති ධීවරයාය. ඔහු මෙසේ පැවසීය.

මුහුදු නොයන ලෙස රජය විසින් දැනුම් දී තිබුණත් දින හතරක් මුහුදු ගියේ නෑ. ඉතිං දරුවෝ බඩගින්නේ තියන්නද? මොනවා කරන්නද? කරන්න තියෙන එකම දේ මූදට යන එක. නැත්නම් ගෙදර සේරම බඩගින්නේ. අපි දෙන්නා උදේ පාන්දර තුනට විතර මුහුදට ගියේ.

ගිහිං ටික වෙලාවකින් මාරියාව සැරවුණා. අපිට කරගන්න දෙයක් නැතිවුණා. එකපාරම බෝට්ටුව පෙරළුණා. අපි දෙන්නා බෝට්ටුවේ එල්ලුණා. ජනිත්ට අමාරු බව දැනුණා. එයා ගොඩක් මහතයි. ඒ නිසා ඒ තිබුණ තත්ත්වයත් එක්ක එයාට පොර බදන්න බැරුව ගියා. මහන්සියෙන් හිටියේ. පැයක් විතර ගියාට පස්සේ බෝට්ටුව එයාගෙන් ගිලිහුණා. එයා මූදේ

ගිලුණා. මම තව පැය ගාණක් බෝට්ටුව එක්ක පාවෙලා ආවා. මුතුපන්තිය වෙරළ ආසන්නයට ආවට පස්සේ බෝට්ටුව අතහැරලා පිහිනගෙන ගොඩට ආවා. පෙර පිනකට තමයි මම බේරුණේ.

අමරනන්ද විජේසේකර – මහවැව


advertistmentadvertistment