හැමෝටම හොරු කියන්න හොරු මුදල් වියදම් කරනවා – අල්ලස හා දූෂණය මර්දනයට දූෂණ විරෝධී පනත ගෙනාවා -විදේශ කටයුතු ඇමැති අලි සබ්රි

159

රටට කොඩිවිනයක් වූ දූෂණය, හොරකම තුරන් කිරීමට ගත් වැදගත් පියවරක් -විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

රටේ ආර්ථික අපරාධවලට වන්දි ගෙවන්න වුණේ ඊපීඑෆ්, ඊටීඑෆ් සාමාජිකයන්ටයි -අනුර කුමාර දිසානායක (ජාජබ)

වත්මන් අගවිනිසුරු එදා නීතිපතිව සිටියදී දාපු නඩු 35ම අද වාෂ්ප වෙලා -විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල

කාන්තාව ලිංගික අල්ලසට ගොදුරුවීම වැළැක්විය යුතුයි -රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ

අල්ලස හා දූෂණය සටන් පාඨයක් කර ගන්නේ නැතුව ඒවා මර්දනය කිරීම පිණිස මෙවලමක් වශයෙන් දූෂණ විරෝධී පනත ආණ්ඩුව විසින් ජනතාවගේ විශ්වාසය ඇති වන පරිදි ගෙන ආ බව විදේශ කටයුතු පිළිබඳ ඇමැති අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (06දා) පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. නිවේදන, ලිපිලේඛන, වාර්ෂික වාර්තා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව 27 -2 යටතේ විශේෂ ප්‍රකාශ සිදු කිරීම සහ ඒවාට පිළිතුරු ලබා දීමෙන් අනතුරුව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ කල් තබන ලද විවාදය සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම පිළිබඳ කල් තබන ලද විවාදය ආරම්භ කෙරිණි.

විවාදය ආරම්භ කරමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා :

අපේ රටේ අරගලයකින් පසු රටේ සිදුවන සාධනීය විපර්යාසයීය දිනයක් ලෙස අද සැලකිය හැකියි. ඒ මන්ද කියතොත් මේ රටට කොඩිවිනයක් වුණු දූෂණය, වංචාව, හොරකම ජන සමාජයෙන් තුරන් කිරීම උදෙසා ඉදිරියට තබන වැදගත් පියවරක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. තිබුණු තත්ත්වයට අනුව මෙය හොඳයි. ඒත් අපේ පක්ෂයේ මහ ලේකම්තුමා රංජිත් මද්දුම බණ්ඩාර මහතා මීට වසර කිහිපයට පෙර දූෂණ විරෝධි පනතක් ඉදිරිපත් කළා. 2022 නොවැම්බර් 30 වැනි දා. ඒ පනත අද මේ සාකච්ඡා වන පනතට වඩා ශක්තිමත්. නමුත් අධිකරණ ඇමතිතුමනි මේ පනත ඔබ තුමාලා ගැසට් කළේ නැහැ. නමුත් විසුරුවා දමපු පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ආපහු කැඳවා ඔවුන්ට බලය ලබා දීමේ කපුටගේ පනත ගැසට් කරලත් ඉවරයි. සමගි ජන බලවේගය ඉදිරිපත් කළ මේ පනත හකුලා ගත්තා. මේ නව පනත තියෙන තත්ත්වයට වඩා හොඳයි. මා සුබවාදීව බලනවා. නමුත් අපි යා යුතු ප්‍රමාණය ගොස් තිබේද? රට බංකොළොත් වෙලා රටේ සම්පත් විනාශ වෙලා දේශීය සම්පත් හොරා කාලා මංකොල්ල කාලා ඉවරයි.

පවුලක් එකට එකතු වෙලා මේ රටේ දැවැන්ත විනාශයක් ඇති කරලා හොරකම, වංචාව, දූෂණය, මංකොල්ල කෑම ජාතික න්‍යාය පත්‍රයේ ඉහළට ගොස් ඇති මොහොතක මේ යන ක්‍රමයේ මීට වඩා සාධනීය ක්‍රමවේදයක් ඇති විය යුතුයි. වර්තමාන රජය බලයට ආ විගස මෙය කරන්න තිබුණා. නමුත් අද මේක කරන්නේ අයි. එම්. එෆ් කොන්දේසියක් ලෙසයි. අයිඑම්එෆ් එකේ බලකිරීම තුළ කළ යුතු දේවල් කරා කියල පෙන්නන්නයි මේක කරන්නේ.

මේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධන 29ක් විතර කළා. අපිත් සංශෝධන 53කට වැඩි ප්‍රමාණයක් කළා. රජයත් තව සංශෝධන 88ක් විතර ඉදිරිපත් කළා. අපි ඉදිරිපත් කළ සංශෝධනවලින් සියයට 75ක් පිළිගත්තා. නමුත් ප්‍රතික්ෂේප කළ සියයට 25 බොහොම බරපතළයි. අපි යෝජනා කලා අතීතයට බලපාන ලෙස මේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා. මේ වෙනස සිදුකිරීම තුළ වඩාත් විනිවිදභාවයකින් පාරදෘෂ්‍යභාවයකින් යුතුයි යන අරමුණින් මේ පනත ක්‍රියාත්මක වෙනවාද කියා ගැටලුවක් පවතිනවා. තිබෙන නීතියට වඩා මේ නීතිය හොඳයි හැබැයි යා හැකි දුරක් තිබෙනවා. ඒ දුර යන්න සංශෝධනවලට එකඟ වෙන්න.

(නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මූලාසනයට පැමිණේ)

විදේශ කටයුතු පිළිබඳ ඇමැති අලි සබ්රි මහතා :

හොංකොහි දූෂණ විරෝධී නීතියට සමාන නීතියක් මේ හඳුන්වා දෙන්නේ. නීතියෙන් හැම දෙයක්ම කරන්න බැහැ. එය දැමූ මුල් පියවර පමණයි. නීතිය නිවැරදිව ක්‍රියාත්මක විය යුතුයි. හාල් මැස්සන්ට විතරක් නීතිය ක්‍රියාත්මක කරනවාද? කවුරු වුවත් සමානව නීතිය ක්‍රියාත්මක කරනවාද නිවැරදිව තීරණ ගත යුතුයි. කෙනා කුමන තරාතිරමක වුවත් නීතිය සමාන විය යුතුයි. දේශපාලන බලය මත නීතිය ක්‍රියාත්මක වීම නැවැත්විය යුතුයි. බලයට එන අය අනිත් අයට නඩු දානවා සමව නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ.

දූෂණ නීති ඉතා වැදගත්. ලංකාවේ දූෂණය ගැන ජාත්‍යන්තරයෙන් අහනවා. දෙපැත්තට බෙදිලා වාද කරලා වැඩක් නෑ. නීති ගෙනවිත් ක්‍රියාත්මක කළ යුතුයි. ජාත්‍යන්තරවත් විශ්වාසය ඇතිවන ආකාරයට සැබෑවටම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

දූෂණයට විවිධ තරාතිරම්වල අය සම්බන්ධයි. මේවා හැමදාම කතා කර කර සිටිය යුතු නෑ. හැමෝගේම වගකීමක්සෙ එක ප්‍රතිපත්තියක සිට ක්‍රියා කළ යුතුයි. ජාත්‍යන්තර සංවිධාන අද රටේ දූෂණ පෙන්වනවා.

හැමෝම හොරු කියන එක හොරාට කරන හොඳම සේවයයි. නියමිත තොරතුරු ඇතිව නිවැරදිව හොරකම පෙන්විය යුතුයි. හැමෝම හොරු කියන්න හොරු මුදල් වියදම් කරනවා.

මේ නීති දේශපාලනීකරණය කරන්න එපා. උසාවියට උසාවියේ වැඩේ කරන්න ඉඩ දෙන්න. අල්ලස් කොමිසමට ස්වාධීනව වැඩ කරන්න ඉඩ දිය යුතුයි. එහෙම නැතිව හැම දේකටම දේශපාලනය ගාවන්න එපා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජාජබ) :

ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ සිදුවූ බවට ජාත්‍යන්තරය පවා කිව්වා. ශ්‍රී ලංකාවට ආර්ථික අපරාධයක් සිදුව තිබියදී එහි ප්‍රතිවිපාක ජනතාවට ගෙවන්න සිදුවෙලා. ජනතාවට වැටුප්පතින් විශාල ප්‍රමාණයක් බදු ලෙස ගෙවන්න සිදුවෙලා. ඒ ආර්ථික අපරාධකරුවන් කළ අපරාධයට වන්දි ගෙවීමට සිදුවීම නිසයි. ඊපීඑෆ්, ඊටීඑෆ් සාමාජිකයන්ට වන්දි ගෙවන්න සිදුවෙලා.

අදත් සතුටින් නිදැල්ලේ මේ අපරාධකරුවන් පෙනී සිටිනවා. සමහරු ප්‍රභූවරුන්, සමහරු සර්ලා, සමහරු හිටපු ජනාධිපතිවරු, ඇමැතිවරු. සමහරු උසස් රජයේ නිලධාරීන්. මේවා වළක්වන්න පනත් ගේනවා. මෙවැනි දූෂණ නවත්වන්න තිබුණු පනත් ප්‍රමාණවත්. මුදල් විශුද්ධිකරණ පනත, අල්ලස් පනත, අපරාධ පනත ආදී පනත් ගණනාවක් තියෙනවා. තිබෙන නීතිය දුර්වල නම් පොල් ගෙඩි හොරකම් කළ කෙනා හිරේ යන්නේ කොහොමද? තියෙන නීතියට කොටුවෙන්නේ හාල්මැස්සන්. දූෂිත නිලධාරි වළල්ලක් තියෙනවා. ඩීල්කරුවන් ඉන්නවා. නීතිය පසිඳලන තැනත් කිහිප දෙනෙක් ඉන්නවා. සමස්ත නිලධාරීන් නොවෙයි. ඉතා සුළු ප්‍රමාණයක්. තෝරු, මෝරු ඔවුන්ගේ සහායෙන් නීතියෙන් රිංගා යනවා. මහාධිකරණය කෝටි දෙකහමාරක දඩ ගහපු අයෙක් ඇඟ බැඳපු අයෙක් ආණ්ඩු පක්‍ෂයේ ඉන්නවා. දේශපාලන බලපෑම් මත නිදැල්ලේ ඉන්නවා.

කුණු පොහොර නැව ගෙනාපු අය නිදැල්ලේ. නීතියෙන් පමණක් විසඳුම් සෙවිය නොහැකියි. ඉස්කාගාර අයිති ඇමැතිවරු මන්ත්‍රීවරු ඉන්නවා. ඔවුන් බදු නොගෙවා ඉන්නේ දේශපාලන හයිය නිසයි. පොඩි මිනිහෙක් බදු හෝ ණය ගෙව්වේ නැත්නම් පරාටේ නීතිය යටතේ දඬුවම් දෙනවා. මෙතන තියෙන්නේ දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්නයක්.

නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලන මැදිහත්වීම් මත නඩු ඉල්ලා අස්කර ගන්නවා. 2021 දාපු නඩුවලින් 21ක් ඉල්ලා අස්කරගත්තා. තාක්ෂණික කරුණු මත කියලා ඉවත්

කරගන්නවා. නීතියේ ප්‍රශ්න නොවෙයි. නිලධාරීන් නිසි ලෙස පරීක්‍ෂණ කළ විට ඔවුන්ව කොටුවෙන නිසා නැවත බලයට ආවාම ඔවුන්ව ඉවත් කරවා ඇමැති වටේ ඉන්න අය විතරයි ඒ අමාත්‍යාංශයේ වැඩ ගන්න පුළුවන්.

මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ලෝකයේ රටවල අය හිරේ යනවා. අපේ අය යන්නේ නෑ. මනුස්සයෙක් ඇහැට බෙහෙත් ගන්න ගියාම බෙහෙත් විෂ වෙලා මැරෙනවා. ඇමැති කියනවා ඒ බෙහෙත් කාලෙක සිට ගේන ඒවා කියලා. එහෙම කියන්නද ඇමැතිවරු ඉන්නේ. දූෂිතයා දූෂිතයන්ව ආරක්ෂා කරනවා. මේ දේශපාලන ක්‍රියාවලිය මෙතෙක් කල් ක්‍රියාත්මක වෙනවා.

රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් මහතා:

තියෙන නීති ප්‍රමාණවත් කයන ජවිපෙ යහපාලන ආණ්ඩුව සමග එකතුවී නීති හැදුවා. 1988 දී ජවිපෙ හැටදාහක් විනාශ කළ නිසා ජවිපෙ ඉතිරිවී තියෙන්නේ මේ වගේ රැලක් විතරයි.

නීතිපති නඩු ඉල්ලා අස්කර ගත්තානම් එතනට නීතියේ දෝෂ තියෙනවා. ඒවා නිවැරදි කළ යුතුයි.

සාක්ෂි සඟවන්න බැරි විදියට මේ දූෂණ විරෝධී පනතින් නීති හැදිය යුතුයි. සාක්ෂි සියල්ල හෙළිකරගත් පසුව වැරැදිකරුවන් අත්අඩංගුවට ගත යුතුයි.

ලෝකයේ රටවල් ජය ගත්තේ අල්ලසට, දූෂණයට, හොරකමට වැට බැඳපු නිසයි. අපේ රටේ දියුණුවට හොරකමට වැට බැඳිය යුතුමයි.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා :

නීතියේ ආධිපත්‍ය අවශ්‍යයි. ආයෝජකයෝ ආවත් නීතියේ ආධිපත්‍ය බලනවා. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අය අග්‍රවිනිශ්චයකාරවරිය එලෙව්වා. මේ ආණ්ඩුව නඩු තීන්දුව දුන්නු විනිසුරුවරුන් තිදෙනා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙනාවා. ලෝකයේ කවදාවත් සිදු නොවන ඒවා සිදු කළා. මෙහෙම වුනාම ජාත්‍යන්තරය රටේ නීතිය පිළිගනීවිද? විනිසුරුවන් බය කරන්න ආණ්ඩුව මේවා කරන්නේ. ආණ්ඩුවේ තීරණවලට පිටින් යන්න එපා කියලයි කියන්නේ.

වත්මන් අගවිනිසුරුතුමා එදා නීතිපතිව සිටි සමයේ දාපු නඩු 35ම අද වාෂ්ප වෙලා. මහා ව්‍යාකූල තත්ත්වයක් ඇතිවෙලා. ඒ නඩු 35 යළි සක්‍රීය කරන්න. අපේ රටේ නීතියේ උත්තරීතරභාවය ගැන අපේ රටට තබා ජාත්‍යන්තරයටත් විශ්වාසය නැතිවෙලා.

රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් මහතා :

කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වය ගැන ප්‍රශ්නයක් තියෙනවා. පත්කරන සාමාජිකයන් ගැන ප්‍රශ්න තියෙනවා. බලය හිතුමතේ පාවිච්චි කිරීම සුදුසු නෑ. කොමිෂන් සභාවල අයට වැරැදි කරන්න බැරි විදියට නීති හැදිය යුතුයි.

හදන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන්. පනත් ගේනවිට වැරැදි කරන ඉහළ නිලධාරීන්ට එරෙහිව ක්‍රියා කිරීමත් අත්‍යවශ්‍යයි. නීතිවලින් පමණක් රටක් හදන්න බැහැ. ආකල්පමය වෙනසක් රටට අවශ්‍යමයි.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා (සජබ) :

නීතියේ ආධිපත්‍යයට විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන අංශ පිරිසිදුව හැදිලා තියෙන්න ඕන. ඒ පාලනය තුළ වගවීම හා විනිවිදභාවය ඇති වෙනවා.

ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ ගෝලීය දූෂණ බැරෝ මීටරය කරපු සමීක්‍ෂණයකින් ලංකාවේ ජනගහනයේ සියයට 46කට විශ්වාසයක් නැහැ දූෂිතයන්ට දඬුවම් දෙයි කියලා. තව පිරිසක් කියනවා දන්නේ නෑ කියලා.

2021 දූෂණය පිළිබඳ නඩු 94ක් අහලා තියෙනවා. එයින් 20ක පමණයි දඬුවම් දීලා තියෙන්නේ. මේ දූෂණ පනත් අපි තවත් ශක්තිමක් කළ යුතුයි. දඬුවම් නොදීම නිසා ව්‍යාපාර අංශ කඩාවැටිලා. ආයෝජකයෝ රටට එයිද? දූෂණ අවබෝධතා දර්ශනය අපි 36 ස්ථානයේ ඉන්නේ. පහළම මට්ටමේ ඉන්නේ. දේශීය ආයෝජකයන්ට හිතකර පරිසරයක් හැදිය යුතුයි. අල්ලස්, දූෂණ වැඩියි. ව්‍යාපාරිකයන්ට බලපෑම් එල්ල වෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ. පී.එස්. කුමාරසිරි මහතා (ශ්‍රීලපොපෙ) :

දූෂණ විරෝධී පනත ඉතා හොඳ පනතක්. වසර ගණනාවක් මේ පනත ගේනකම් බලා සිටියා. මේ පනත තුළ ඇති නීති නවන්නේ නැතිව ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා හිතන්න.

මොන පනත් ගෙනාවත් වැඩක් නෑ ඒවා හරියට ක්‍රියාත්මක කරන්න බැරිනම්. රටවල් දියුණු වෙලා තියෙන්නේ ශක්තිමත් නීති තියෙන නිසයි. ඒ වගේම නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක වෙනවා.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා (සජබ) :

මීට පෙර අපේ පක්‍ෂයෙන් පෞද්ගලික යෝජනාවක් ලෙස දූෂණ විරෝධී පනතක් ගෙනාවට ගණන් ගත්තේ නෑ. නමුත් දැන් මූල්‍ය අරමුදලේ බලකිරීම මත ආණ්ඩුව පනත ගෙනාවා. පනත ක්‍රියාත්මක වෙන්නේ මාස 18කින්. එවිට මේ ආණ්ඩුවත් නෑ. මාස 12කින් ක්‍රියාත්මක කරන්න.

රටේ ධනය කවුරුහරි විනාශ කළානම්, හොරකම් කළානම් තරාතිරම නොබලා අත්අඩංගුවට ගත යුතුයි. හොරකම් කළ ධනයක් නැවත රටට ලබාගත යුතුයි. එවිට 225ම එපා කියන අය 225ම ඕන කියාවි.

පනත ක්‍රියාත්මක වීම මාස 18කට කල් දාලා තියෙන්නේ නොකෙරෙන තැනටයි. මූල්‍ය අරමුදලට පෙන්වන්න විතරයි. ආණ්ඩුවේ නොහැකියාව නිසා රට වට්ටලා දැම්මා. මේ ආණ්ඩුවට රට ගොඩනගන්න ජනතාව ආරක්ෂා කරගන්න බැරිවුණා.

ආණ්ඩුව හොරකම, වංචාව ඉහළටම යන්න ඉඩදුන්නා. කවුරුත් නීතිය ක්‍රියාත්මක කළේ නෑ. දැන් දේශීය ණය කපන්න කියලා දුක් මහන්සියෙන් වැඩ කරන ජනතාවගේ මුදල්වලට ගැහුවා. ඔවුන්ට හඬක් නෑ. මෙහෙම ජනතාවගේ මුදල් කඩා ගන්න එපා. ආණ්ඩුවේ වරද ජනතාව පිටින් යවන්න මොවුන් ක්‍රියා කළා. ජනතාව අනාගතයට ඉතිරි කරගත් මුදල් මංකොල්ල කෑවා වගේ වැඩක් කළේ.

පත් කළ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග (ශ්‍රීලපොපෙ) :

ජනපතිවරයා අගමැතිව සිටි කාලයේ දී ගෙනා නීතියට අනුව ජනපතිට තබාගත හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණක් වුවත් දැන් ඔහු ජනපති වීමෙන් පසුව මුදල් අමාත්‍යාංශය ඔහු යටතට ගත්තා. මේ නිසා පත්කරන කොමිෂන් සභා ආයතන නිසි ලෙස ස්වාධීනව සිදු කෙරෙනවාද යන්න ප්‍රශ්නයක්. විධායක බලය ඉහළින් තියෙනවා. කොමිෂන් සභා සභාපති පත් කරන්නේ ජනපති අභිමතය පරිදියි.

යම් දේශපාලනඥයකුට චෝදනාවක් එල්ල වූ විට ඔහුව චෝදනා ඔප්පු වනතෙක් තනතුරුවලින් ඉවත් කර තැබීමට නීති සැකසීම සුදුසුයි.

රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ මහත්මිය :

මේ රටේ වැඩියෙන්ම ප්‍රශ්නවලට මුහුණ පාන්නේ ජනතාවයි. නඩු 1127000ක් තියෙනවා. එයින් සියයට 33ක් ළමා අපචාර හා ස්ත්‍රී දූෂණයි. අල්ලස් එක එක විදියට සිදුවෙනවා. කාන්තාව ලිංගික අල්ලසට ගොදුරු වෙනවා. රැකියා උසස්වීම්, දරුවන් පාසල්වලට දාන්න, කාන්තාව ලිංගික අල්ලසට ගොදුරු කරගන්නවා. මේ පනත ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න උපකාරි වෙනවා.

මේ රටේ අල්ලස දූෂණය තුරන් කළදාට පමණයි ලංකාව කීර්තියක් ඇති රටක් බවට ඔළුව උස්සලා ඉන්න පුළුවන් වෙන්නේ. ආයෝජන කරන්න එනවිට රටේ අල්ලස දූෂණය වැඩිවෙලා නම් කවුරුත් එන්නේ නෑ. අපි මේ තත්ත්වයෙන් රට බේරාගත යුතුයි.

සොරකම් නොකරන මනුෂ්‍යාටත් හොර ලේබලය අලවලා. එය නිවැරදි අයට මානසික බන්ධනයක් වෙලා.

අද ගොඩක් තරුණයන් රට රස්සාවලට යන්න එක එකකෙනාට අල්ලස් දෙනවා. ඒවා ගිණුම්වලටයි යන්නේ. මේවා වළක්වන්නත් ක්‍රියා කළ යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා (සජබ) :

මේ පනත ඉතා හොඳ වෙන්නේ අතීතයට බලපාන පරිදි නීති සකස් කළොත් පමණයි. බුදුසරණයි, දෙවිපිහිටයි කියලා ගහලා ලොරියේ හරක් ගෙනයනවා වගේ වැඩක් මේක. අල්ලස් පනත ගෙනල්ලා ලෝකයට පෙන්නලා සොරකම් සිදුවෙනවා.

මීට කලින් හදපු පනත් රැසක් රට තුළ තියෙනවා. දූෂණය අල්ලස හොරකම නවත්වන්න. එසේ තිබිලත් අටුව කඩලා පුටුව හදන්න යන මේ වැඩේ ගැන ප්‍රශ්න තිබෙනවා. රට විනාශ කරපු දූෂිතයන්ගේ වත්කම් හා දේපළ යළි ලබා ගන්න අතීතයට බලපාන ලෙස නීති ගේන්න.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා (ශ්‍රීලපොපෙ) :

මේ පනත මගින් උපරිම දඬුවම් දෙන්න පුළුවන් නීති ගේන්න. විපක්‍ෂය ඊට මුල්තැන ගන්න නිකන් චෝදනා කරකර ඉඳලා වැඩක් නෑ.

එදා යහපාලන ආණ්ඩුව දූෂණ විරෝධී කමිටුව පත් කරලා අනුර දිසානායකට වැඩි බලය දුන්නා. ඒ යටතේ විපක්‍ෂයේ සිටිය අපි හැමෝටම නඩු දැම්මා. එෆ්සීඅයිඩී ඇති කළා. මොනවා කළත් කිසිවක් කරගන්න බැරිවුණා.

මේ පනතේතව අඩුපාඩුකම් තියෙනවා. ඒවත් හදලා හොඳ පනතක් ගේන්න. දූෂිතයි කියලා ඇඟිලි දික් නොකර තරාතිරම නොබලා නඩු පැවරිය හැකි නීති ගේන්න. දූෂණ කොමිසමට පෙර වැරැදි නැති හොඳ අය පත් කරන්න. ඒ වගේම ඔවුන්ට හොඳට වැටුප් ගෙවන්න.

දේශපාලකයා පමණක් නොව රාජ්‍ය සේවකයා ගැන කවුරුත් හොයන්නේ නෑ. සුරාබදු, රේගුව, දේශීය ආදායම් වැනි ආයතනවල නිලධාරීන් ගැන සොයා බලන්න. මේවා ගැන කවුරුවත් හොයන්නේ නෑ.

පාර්ලිමේන්තුව නැවත අද (07දා) දින පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment