හිනිදුම ත්‍රිත්ව ඝාතනය: දකුණේ පාතාලයේ වියරුව යළි පෙන්වයි

716

ලක්ෂ 15 දුන්න කෙනායි ගත්ත කෙනායි ප්‍රහාරයෙන් මැරිලා!

සිද්ධිය වූ තැන හිස් උණ්ඩ කොපු 25ක්

විමර්ශන වැඩට පොලිස් කණ්ඩායම් 7ක්

ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේ අවන්හලක දී පෙරේදා (30දා) රාත්‍රී පුද්ගලයන් තිදෙනකු ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, දකුණේ ප්‍රධාන පෙළේ පාතාල කල්ලියක් විසින් ලබාගත් මුදල් කොන්ත්‍රාත්තුවකට අනුව සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.මුදල් ආරවුලක් සම්බන්ධයෙන් කාලයක පටන් පවතින ගැටුමක් ප්‍රහාරයට හේතුවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 7ක් විමර්ශන ආරම්භ කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බළකාය ද වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් මියගිය එක් පුද්ගලයකු විදේශ රැකියාවක් සඳහා යෑමට රුපියල් පහළොස් ලක්ෂයක මුදලක් මෙම ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිටි තවත් අයකුට ලබාදී තිබූ බව පොලිසිය පවසයි.

මුදල් ලබාගත්තද විදේශ රැකියා ලබාදීමට අපොහොසත්වීම නිසා එම මුදල් ආපසු ඔහු ඉල්ලා ඇත. එහෙත් මුදල් ලබාගත් පුද්ගලයා එය ආපහු දීම ප්‍රමාද කිරීම නිසා මොවුන් අතර ආරවුලක් තිබී ඇත.

මෙම මුදල් ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන ලෙස කළ දැනුම් දීමකට අනුව මුදල් ලබාදුන් පුද්ගලයා අවන්හල වෙත පැමිණ තිබේ.

හිනිදුම ත්‍රිත්ව ඝාතනය: දකුණේ පාතාලයේ වියරුව යළි පෙන්වයි

ප්‍රහාරයට මුදල් ලබාදුන් පුද්ගලයාද මුදල් ලබාගත් පුද්ගලයාද ඝාතනයට ලක්ව ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

කෙසේ වෙතත් මෙම ඝාතනයට නිවැරදිම හේතුව මෙතෙක් හෙළිවී නැත. පසුගිය කාලසීමාව පුරාම ගාල්ල ඇල්පිටිය ඇතුළු ඒ අවට ප්‍රදේශ ගණනාවක සිදු වූ මිනිස් ඝාතනවලින් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ කරන්දෙණියේ සුද්දා නමැති පාතාල නායකයාගේ නියෝග මත බවද පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් ගණනාවකගෙන් මේ වනවිට පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ප්‍රහාරය පිළිබඳව ප්‍රදේශවාසී පිරිසක් මෙසේ කියා සිටියේ මහ රෑ රතිඤ්ඤා පුපුරණ සද්දෙ වගේ ඩෝං පටෝං සද්ද ආවා. සත්තු එළවන්නත් රතිඤ්ඤා පත්තු කරන නිසා අපි එච්චර ගණන් ගත්තේ නැහැ.

හිනිදුම මහබෝධිවත්ත ප්‍රදේශයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමෙන් තිදෙනෙක් එම ස්ථානයේදීම මිය ගියහ. පොලිසිය පවසන අන්දමට මෙම ප්‍රහාරය එල්ලකර ඇත්තේ රාත්‍රී 10.45ට පමණය. මෙම අවන්හල පවත්වාගෙන යන පුද්ගලයා තවත් සිව්දෙනෙකු සමග අවන්හල තුළ මත්පැන් පානයකරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ලකොට ඇති බව පොලිසිය පවසයි. එහි සිටි දෙදෙනකු වෙඩි ප්‍රහාරයත් සමග දිවගොස් ඇත. අනික් තිදෙනාට වෙඩි වැදී එම ස්ථානයේම මියගොස් සිටි බව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 54, 29 හා 34 වැනි වියේ පසුවන හිනිදුම සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝය. මින් දෙදෙනකු විවාහකයන් බව පොලිසිය පවසයි.

සිද්ධිය වූ ස්ථානයේ තිබී හිස් උණ්ඩ කොපු 25ක් පමණ සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. මියගිය තිදෙනාගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (31දා) උඩුගම මහෙස්ත්‍රාත් සදිනි අමරවික්‍රම මෙනවිය විසින් සිද්ධිය වූ ස්ථානයේ දී පවත්වන ලදී.

මෙම ප්‍රහාරයෙන් මියගොස් තිබුණේ හොටෙල් දිසාරා හිමිකරුවන මහබෝධි වත්ත, පනංගල බටහිර, පනංගල ලිපිනයේ පදිංචි ඉඳුනිල් සමන් කුමාර, හිංගල්ගොඩ හිනිදුම ලිපිනයේ පදිංචි චතුරංග කුමාර බටගොඩ සහ අංක 162, නාමල් සෙවණ, බටපොල යන ලිපිනයේ පදිංචි සන්ද මරක්කල නෙවිල් යන අයවෙති. මොවුන්ගේ පපුවට සහ හිසට වෙඩි වැදී ඇති බව පොලිසිය පවසයි. මොවුහු 29, 54 යන වියේ පසුවන අයවෙති.

හේමන්ත රන්දුණු, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්, ගාල්ල – එස්.කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද


advertistmentadvertistment