හිමිවරු අටනමක් අධිසිල් ලබති

25

බොරලැස්ගමුව, මහරගම ප්‍රදේශවල පමණක් නොව මුළුමහත් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවටම ශාසනික වශයෙන් වැදගත් සුවිශේෂ පුණ්‍යකර්මයකට දායක වීමට මහඟු අවස්ථාවක් උදා කරමින් මහරගම වාපිකාරාම විහාරවාසීව වැඩ වසන, පූජ්‍ය ඇරැව්වල පියනන්ද හිමි, පූජ්‍ය කිවුල්පනේ තිලකානන්ද හිමි, පූජ්‍ය ඇල්ලන්දේ සාරානන්ද හිමි, පූජ්‍ය කිරිඳිවැල පුඤ්ඤානන්ද හිමි, පූජ්‍ය ඇල්ලන්දේ සංඝානන්ද හිමි, පූජ්‍ය සෙල්ලකතරගම චන්ද්‍රානන්ද හිමි, පූජ්‍ය හෙළමුල්ලේ අමිතානන්ද හිමි සහ පූජ්‍ය කරඳන ඤාණනන්ද හිමි යන උගත් සංඝශෝබන සාමණේර හිමිවරු අටනම රඹුක්කන වල්පොල ශ්‍රී ජයසුන්දරාරාමාධිපති, මහරගම වාපිකාරාම විහාරාධිකාරි, කිරුළපන පූර්වාරාම විහාරස්ථ ශ්‍රී පඤ්ඤාලෝක පරිවෙණාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පොනින්ලව රතනපාල හිමි සහ ඓතිහාසික සෙල්ලකතරගම රජමහ විහාරාධිපති පූජ්‍ය පඩව්ගම ජිනානන්ද යන උභය නාහිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් මැයි මස 24 වැනි සෙනසුරාදා මහනුවර ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා මංගල පොහොය සීමාමාලකයේදී අධිශීල සංඛ්‍යාත උපසපන් පදවියෙහි පිහිටුවනු ලබනු සේක.

ජුනි මස 01 වැනිදා ප.ව. 1.30ට බොරලැස්ගමුව මංසන්ධියේ සිට සිරි විසිතුරු පෙරහැරකින් අභිනව උපසපන් භික්‍ෂුන් වහන්සේලා වාපිකාරාම විහාරස්ථානයට වැඩම කරවීමත්, රාත්‍රී 7.00 ට සෙත් පැතීමේ බෝධි පූජාවත්, ජුනි මස 02, 03, 04, 05, 06, 07, 08 සහ 09 යන දිනවල මංගල ධර්ම දේශනාවන් ද පවත්වන ලබනු අතර අනතුරුව ධර්ම පරිෂ්කාර හා ප්‍රසාද පූජා පැවැත්වීමට නියමිතය. ජුනි 10 වැනි පොසොන් පොහොය දින පුරාම සීල භාවනා පොහොය වැඩසටහන්, අභිනව උපසම්පන් භික්‍ෂූන් වහන්සේලාගේ මූලිකත්වයෙන් අලුයම 5.00 සිට සිදුකිරීමට නියමිත අතර රාත්‍රි යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවක් ද පවත්වනු ලබනු සේක.

බොරලැස්ගමුවේ ගාමිණි ලියනගේ සාමවිනිසුරු


advertistmentadvertistment