හිසට සහ මුහුණට ගල්වලින් පහරදී මහමඟ දමා ගිය දෙදෙනාගෙන් අයෙක් මරුට

88

හම්බේගමුව පොලිස් වසමට අයත් අලුත්වැව ප්‍රදේශයේ හම්බේගමුව වේලිඔය ප්‍රධාන මාර්ගය අසල තුවාල ලබා වැටී සිටි පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (17 දා) රාත්‍රී හම්බේගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයකු මියගොස් ඇතැයි හම්බේගමුව පොලිසිය පවසයි.

බලංගොඩ, කල්තොට, මැදබැද්ද පදිංචි දෙදරු පියෙකු වන සමරතුංග ආරච්චිගේ රාජපක්ෂ (51) සහ එම ප්‍රදේශයේම පදිංචි හේවාවලිමුණිගේ ගුණදාස (49) නමැති තිදරු පියෙකු මෙලෙස තුවාල ලබා සිටියදී සුවසැරිය සහ පොලිසිය එක්ව රෝහල්ගත කර තිබිණි.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව සමරතුංග ආරච්චිගේ රාජපක්ෂ යන ත්‍රිරෝද රථ රියැදුරා මියගොස් ඇත. අනෙක් තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට මාරුකර යවා තිබේ.

ඔවුන් දෙදෙනාගේ මුහුණට සහ හිසට කිසියම් පිරිසක් ගල්වලින් සහ මොට ආයුධවලින් පහරදී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම ඝාතනය සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මියගිය අයගේ මරණය පිළිබඳව මහෙස්ත්‍රාත් පරීක්ෂණය වැල්ලවාය වැඩබලන මහෙස්ත්‍රාත් මාලනී තෙන්නකෝන් මහත්මිය විසින් පැවැත්වීමට නියමිතව තිබිණ.

මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ගුණවර්ධන මහතාගේ උපදෙස් පිට හම්බේගමුව පොලිස් ස්ථානාධිපති ඩී. එම්. විජේසුන්දර මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක


advertistmentadvertistment